දුකට කියූ ගී
Culture And Music Blog අඩවියෙන් අද තවත් සොඳුරු සාකච්ඡාවකට මුල පුරන්නට අදහස් කළෙමු. සාම්ප්‍රදායික ගැමි ගීය පිළිබඳ බොහෝ අවස්ථාවල දී කථා කෙරෙනු අපි දැක ඇත්තෙමු. ගයනවා අසා ඇත්තෙමු.කුමක් ද මේ ගැමි ගීය ? ජන ගීය නැතහොත් ගැමි ගීය යනු අපි අප ම නැවත කියවා ගැනීමක් ලෙස ය මා දකින්නේ .
ඇතැම් තැනෙක නොදියුණු ගැමියා එදා සිය සිතැඟි ප්‍රකාශ කරන්නට යොදා ගත් මාධ්‍යයක් ලෙස ගැමි ගීය හඳුන්වා දී ඇත. එහෙත් ඒ මතයට ඉඳුරා එකඟ විය නොහැකි ය. දියුණු නොදියුණු යන යෙදීම් සාපෙක්ෂ යෙදුම් ය. එක් එක් සමාජීය චින්තන ප්‍රවණතාවයන් ට අනුව සංවර්ධිත / දියුණු හෝ අසංවර්ධිත / නොදියුණු යන වදන් භාවිත කළ හැකිය. චින්තනයේ ස්වභාවය අනුව ගතහොත් එකළ සමාජය වර්තමානය ට සාපේක්ෂ ව සංවර්ධිත වන බව ද කිව මනා ය. සංවර්ධිත යැයි කියැවෙන ලෝකයක වුව සිදු වන ග්‍රාමීය , නිහීන කාර්යයන්හි අඩුවක් දක්නට නැත්තේය. කෙසේ වුවත් මේ විවේචනයන්ගෙන් බැහැර ව අද කවි ගී "ගොඩක් " පිළිබඳ ව නොව එක් ගීයක් පිළිබඳ පමණක් සාකච්ඡා කරමු.
" ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
රැක්මෙන දෙවියනේ වෙල බත බුදින්නේ
දුප්පත් කම නිසයි මං පැල් රකින්නේ "
මේ කවිය ඔබ මීට පෙර අසා ඇති බවට කිසිදු සැකයක් නොමැත. සීලවතී නම් මගේ මිත්තණිය' ඉස්සර කථා ' කියද්දී මේ ගීය කියා දුන් බවට මතකයක් මට ඇත. තුන වසරේ දී සිංහල ඉගැන්වූ ගුරුතුමිය ද මේ ගීය ඉගැන්වූවා මතකය. පැරණි පාසල් පෙළ පොතක ද තිබ්බා මතකය. එබැවින් මේ ගීය ඇඟට තරමක් පත්තියම් වූ ගීයකි. කුමක් ද මෙයින් කියැවෙන්නේ ? ඔබ හරි ය! පැලේ ගොයම් රකින මනුස්සයෙක් කියපු කවියක් ය මේ. අනේ පව් ! මෙසේ ද සිතී ඇතුවාට සැකයක් නැත. එසේනම් දැන් කියන්නට යන්නේ මේ ගීය පිළිබඳ මගේ කියවීමයි.
'ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ ' මේ ගීය ගයන්නේ අහිංසක ගැමියෙකි. මා මෙහි අහිංසක යන යෙදුම සිතාමතා ම ඇතුළත් කළෙමි. අපේ ආච්චි අම්මා කියා ඇති අන්දමට කුඹුරු කෙරුවා ව ලේසි පහසු නැත. එහෙත් එය නරක ම ද නැත. (මා උපදිද්දී සීයා ජීවත්ව සිටියානම් කුඹුරු කෙරුවාව පිළිබඳ ඔහුගේ ද අදහස මෙහි කියන්නට ඉඩ තිබිණි.) මේ කවිය ගයන කථකයා ද ගොවිතැනින් ජීවත් වන්නෙකි. සිංහල විශ්ව කෝෂයේ දැක්වෙන ආකාරයට සාම්ප්‍රදායික ශිල්පක්‍රම භාවිත කරමින් තම පවුලේ ශ්‍රමය යොදා ජීවිකාව ලෙස වගා කටයුතු සිදු කරන්නේ ගොවිතැන ලෙස හඳුන්වා දී ඇත. (මෙයට වී ඇතුළු අනෙකුත් බෝග වගාව ඇතුළත් කළ හැකිය.) ලංකාවේ සංස්කෘතික සංදර්භය තුල සියවස් ගණනාවක පෙර සිට ම ගොවිතැනට ලැබුණේ වන්දනීය ස්ථානයකි. 'මඩ හෝදා ගත් කළ මෙහි ගොවියා රජකමට වුව සුදුසු' බැව් රොබට් නොක්ස් නම් විදේශිකයා එදා හෙළදිව කෘතියේ ද කියා ඇත. එසේනම් සත්‍ය වශයෙන් ම මේ ගීයෙන් කියැවෙන්නේ අර ගැමියා විඳි වේදනාව පමණක් ද ?
පොළෝ කොටා , ලියැදි බැඳ, වතුර හරවා, මඩ කර බිත්තර වී ඉස පැළ කොට පලදාව ලබන්නට සෑහෙන කාලයක් ගත වන්නේය. ඒ කාලයේ දී වී බෝග දරුවන් මෙන් රැක ගන්නට ඕනෑය. මව්පියන් ද බොහෝ දහදුක් විඳ දරුවන් හදති. ඒ දරුවන් ලොකු මහත් වී නාඹර ගැටව් ගැටිස්සියන් වනවා දකින විට මව් පියන්ගේ ද හිත් ප්‍රීති ප්‍රමෝද්‍යයෙන් ඇළලී යයි. (ඔවුන් දරුවන් අයාලේ යන්නට නොදී රකින්නට වෙන මහන්සිය ගැන වෙනම කථා කළ යුතුය. ) මෙවැනි අහිංසක සතුටක් ය අර ගොවියා ට ද දැනුනේ. රන් වන් දුල් කරලින් පැසිලා නැමිලා බර වෙන විට හිමවතත් ලස්සනට පෙනෙන්නේය. සත්‍ය ලෙස ම අපේ ගැමියා සොබා දහම ට ආදරය කරමින් එය රස විඳි අන්දම අපූරුය. අදට වුවත් ගම්බද පළාතක අස්වනු නෙළන කාලයක තිබෙන සුන්දරත්වය වනන්නට වදන් අමුණා ගැනීමටහැකි වන්නේ අසීරුයෙනි. මේතරම් සුන්දර ගොයම් යාය කන්නට එන්නේ කවුදැයි කථකයා කියයි. අලි !
අලි ගැන කථා කරන්නට ගොස් අලිකරදරයක වැටෙන්නද පිළිවන. කෙසේ නමුත් මේ අලි කන්නට එන්නේ අර ගැමියා බොහෝ වෙහෙස මහන්සි වී රැකගත් ගොයම් පංගුවය. ඉතින් එවැනි මොහොතක හූ කියා හෝ , ගිණි ගසා හෝ , අහසට වෙඩි බැඳ හෝ අලි එළවනවා මිසක කවි කීමෙන් නම් පළක් නැතිය. දුක් දෙන අලි පළවා හැරි නමුදු අර ගොවියාගේ හිතට හරි නැත. ඒ නිසාය තමන්ගේ දුක දෙවියන්ට කියන්නේ. මේ කාරණයට අඩු වැඩියටත් එක්ක ම තවත් කථාවක් කියන්නෙමි. (මේක අපේ තාත්තා කියූ කථාවෙකි.)
" ඉස්සර මිනිස්සු වගා කරන්න කැළෑ එළි කරනවා. ඉතින් මේ කැලෑ වල බිම හදාගන්නත් එක්කම එකපාර යායකට ම ගිණි තියනවා. මෙහෙම ගිණි තියන්න කලින් මිනිස්සු හයියෙන් හූ කියනවා.නැත්තන් එක එක සද්ද දානවා.ඒ කරන්නෙ කැළෑවෙ වදුලෙ සතා සිව්පාවා හැංගිලා ඉන්නවනම් එළවන්න. මෙම කෑගහල ගිණි තියල ඉවර වෙලා බලද්දි සමහර වෙලාවට පොඩි පොඩි සත්තු , වඳුරො එහෙම ගින්නට පිච්චිලා මියැදිලා ඉන්නවා. ඉතින් මේ වැඩකරන ඈයොන්ට හරි දුකයි. ඒ අය ' මන් උඹලට කිව්වනෙ පණ බේරගෙන යමල්ලා කියල . ඕං මට පව් නෑ' මෙන් න මෙහෙම කියලා හිත හදාගන්නවා."
මෙවැනි අදහසක් ය අර ගැමියාට ද ඇතිවුණේ. ලංකාවෙ ගැමියෝ බෙදාගෙන කන්නට සූරයෝය. තමාට යහමින් තිබේ නම් සතා සිව්පාවට වුව ටිකක් දෙන්නට ගැමියා ලෝබ නැත. පෙර කළ කුරුළු පාළුව කියා කොටසක් ද වෙන් කැරුනේ එහෙයිනි. එහෙත් අලින්ට කොයිද පංගු පේරු! දෙවේල කන්නට යම්තම් වගා කර ගත් බෝගය රැකගන්නට අලි රාළහමිලා එළවන්නට සිදු වූ නිසා මේ ගොවියා සිත්තැවුළෙන් ය. මේ සියල්ල කීමෙන් පසු අවසානයට ඔහු කියන ප්‍රකාශයද වැදගත් ය. "දුප්පත්කම නිසයි මම පැල් රකින්නේ"
මේ ගැමියා සැබෑවටම දුප්පතෙක් නොවේ.අද මෙන් නොව එදා පැවති ඉහළ ම රැකියාවකි ගොවිතැන. අදට ද නැති යැයි කියන ඇතියවුන් කොතරම් නම් ඇද්ද ? මොහු ට ඇති දුක තමා උපයාගත් දෑ රිසි ලෙසින් බෙදා හදා ගැනීමට ඇති නොහැකියාවයි. ඔහු දෙවියන් ට හෝ පවසා තමා තුළ ඇති වූ වරදකාරී හැඟීමෙන් මිදෙන්නට තැත් කරනවා විය යුතුය. ඒ අතින් ඔහු සොඳුරු මිනිසෙකි.
අද කාලය ගත් විට නම් ඔබේ මතයට මම ද එකඟ වෙමි. අද ගොවිතැනෙන් රජ වනු තබා බඩ වියත රැකගන්නට ද ලොකු සටනක් දෙන්නට වී ඇත. බොහෝ වියදම් කොට කරන වගාවෙන් ලබන අස්වැන්න විකුණාගැනීමට නොහැකිව පාරේ උද්ඝෝෂණ සිදු කරන ගොවි මහත්ම මහත්මීන්ට මේ ගීය හිතේ දුක නිවා ගන්නට හෝ පිටිවහලක් වනු ඇත. ඒ ගොවියන්ට ද මම 'අහිංසක ' යන හෘදයාංගම යෙදුම විශේෂණයක් ලෙස යොදනු කැමැත්තෙමි.
කෙසේ නමුත් මේ ගීයේ උසස් මානව අගනාකම් ගැබ් ව පවතින බව අපට හඳුනාගත හැකිය. ආත්මීය මනෝභාවයන් වදන්වලට පෙරළා හිතේ බර සැහැල්ලු කරගත් ඔවුහු සැබෑම කවියෝ නොවන්නේ ද ?
ඉතා අනර්ඝයි
ReplyDelete