Wednesday, December 30, 2020

දේශීය සංගීතයක් නිර්මාණය කිරීමෙහිලා විද්වතුන් පළ කළ අදහස් 1

 



ආනන්ද ජයසිංහ 

 දේශීය සම්භව සංගීත සම්ප්‍රදායයක් න්‍යායාත්මක ව හා ප්‍රායෝගිකව ගොඩ නැංවීමෙහිලා අදහස් පළ කරන ලද විද්වතුන් බොහෝමයක්  පිළිබඳ අපට කරුණු සොයා ගැනීමට හැකිවේ. සංගීතයට සෘජු ව සම්බන්ධකම් පවතින  එහෙත් වර්තමානිකයා නොහඳුනන චරිතයක් වෙනුවෙන් අද Culture And Music Blog අවකාශය වෙන් කිරීමට අදහස් කළෙමු. ඔහු සංගීත ගුරුවරයෙකි. සංගීත ගත් කරුවෙකි. හේ නමින් ආනන්ද ජයසිංහ නම් වෙයි. දේශීය සංගීත සම්ප්‍රදායයක් නිර්මාණයෙහිලා  ඔහුගේ අදහස් දැක්වීම මූලික ලෙස හඳුනා ගත හැකි ලිපියක් ආශ්‍රයෙන් අද තොරතුරු  ඉදිරිපත් කෙරෙයි.

   ආනන්ද ජයසිංහ මහතා විසින් රචනා කරන ලදු ව වර්ෂ 1983 ප්‍රකාශයට පත් කරන ලද සංගීත සමීක්ෂා කෘතියේ  අඩංගු ලිපියක් මෙම මාතෘකාව සඳහා පාදක කොට ගැනේ. සංගීතයේ න්‍යායික හා දාර්ශනික සංකල්ප පිළිබඳ සරල භාෂා රීතියෙන් රචනා කර ඇති මෙම කෘතිය පෙරදිග , අපරදිග හා දේශීය සංගීතයන් හි එන යම් යම් යෙදුම් සඳහා එක්තරා ආකාරයක කර්තෘ මූලික දෘෂ්ටිගත විවරණ සැපැයීමක් ලෙස හඳුනා ගත හැකිය.අපගේ සාකච්චාව සඳහා සෘජුව සම්බන්ධ වන්නේ මෙහි එන හෙළ රැඳි සැකැසුම යන පරිච්ඡේදයයි.

 ආරම්භක ඡේදයෙන් සංගීතයක තිබිය යුතු මූලික අංග තුනක් පිළිබඳ දක්වන ජයසිංහ , ඒවා පැදිය , රැඳිය ,තිත යන නාමයන්ගෙන් හඳුන්වා ඇත.පැදිය යන්නෙන් සාහිත්‍යමය රචනාවද තිත යන්නෙන් රිද්ම රටාව නොහොත් තාල සංකල්පය පිළිබඳවද අදහස් කර ඇති බව පෙනේ. පරිච්ඡේදය පුරා විහිඳුනු රැඳිය යන යෙදුම උදක් ම නාද මාලාව යන අර්ථය පළ කිරීම සඳහා යොදා ගෙන ඇති බව හඳුනාගන්නට හැකිවේ. ජයසිංහට අනුව  රැඳිය හෙවත් නාද මාලාව කෙසේ වූවත් සිංහලයා සතුව පැදිය හා තිත යන දෙයංගය ඉතා පොහොසත් ලෙසින් පවතී. දේශීය වශයෙන් ව්‍යාප්තව පවත්නා නාද මාලා රාශියක් සොයාගෙන ඇති බැවින් දේශීය අනන්‍යතාවක් සහිත සංගීත සම්ප්‍රදායයක් සඳහා ප්‍රධානත ම මූලාශ්‍රය කර ගත යුත්තේ එම දේශීය නාද මාලාවන් බව ජයසිංහ ප්‍රකාශ කර සිටියි.

 "අපට සතුටු විය හැකි පරිදි සිංහල සාම්ප්‍රදායික ගීත වාදිත නාද මාලා රාශියක් රැස්කර ගන්නට ලැබීම සිංහලයාගේ වාසනාවක් යැයි කල්පනා කළ හැකිය.ඒවා ගුරු කොට නැතිනම් ඒවා පදනම් කරගෙන හෙළ රැඳී (සිංහල රාග) සකස් කොට ගැනීම ගැන සංගීතඥයන්ගේ අවධානය යොමු විය යුතු කාලයයි මේ. "(72 පිට) 

'සංගීතය තුළින් දේශීය අනන්‍යතාව ප්‍රකට විය යුතු 'යන අදහස ඔහුගේ යෙදුම් තුළින් ගම්‍යමාන වන ප්‍රධානතම කාරණයකි.හින්දුස්ථානී සංගීතය කර්ණාට සංගීතයෙන් වෙනස් වන්නේ මෙම අනන්‍යතාව පිළිබඳ කාරණය ඔස්සේ වන බව ඔහු  පැහැදිලි කරයි.එම නාද මාලාවන් අනන්‍ය වන විට එ තුළින් ජාතිකත්වය ඉස්මතු වන බව ඔහු පෙන්වා දෙයි. නිදසුන් වශයෙන්  භාරතීය සංගීත පද්ධතිය ගැන පවසන ජයසිංහ එකම රටේ වුවද සංගීතයේ භාවිතාවේ සැලකියයුතු වෙනස් කම් පවතින බැවින් තවත් රටක් සමඟ ගැළපීමේදී එය කෙතරම් නොගැළපේද යන්න පෙන්වා දෙයි. හින්දුස්ථානි , කර්නාටක , වංග ආදී ශෛලීන්ගෙන් එම ප්‍රදේශයට ආවේණික නාදමය අනන්‍යතාවක් ඇති බව පිළිගන්නට සිදු වෙන බැවින් මෙම තර්කය සාධාරණ යැයි අයෙකුට කිව හැකිය.

 ජයසිංහ  අසල්වැසි රාජ්‍යයන්ගේ ආභාසය තවත් රටකට  ලැබිය හැකි බැව් පිළිගනී. එය සංස්කෘතික විසරණය යන  යෙදුමෙන් ද වටහා ගත හැකි කාරණයකි.. එහෙත්  මහා සංගීතය ලෙසින් හඳුන්වන ප්‍රබල රාජ්‍යයේ සංගීත සම්ප්‍රදායයම අනෙක් රටවලටද අදාළ විය යුතු යැයි පැවසීම කෙතෙක් දුරට සාධාරණ ද යන්න ඔහු විසින් ප්‍රශ්න කරයි. මේ ප්‍රකාශය ලංකාව විෂයෙහි අදාල කරගත හොත් ලංකාවේ සංගීතය භාරතීය හෝ වෙනත් මහා සම්ප්‍රදායයක් අනුගමන කළ යුතු යැයි මත ප්‍රකාශ කරන විද්වතුන් විෂයෙහි එය ප්‍රබල අභියෝගයක් වෙයි. 

 භාරතීය සංගීතය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වූ සම්ප්‍රදායයකි.  එය සාමාන්‍ය ජනතාවගේ පොදු නාද මාලා වලින් උත්පන්න වූවක් බව වර්තමානයේ පර්යේෂණ තුළින් සනාථ කරගෙන ඇත.  පසුකාලීනව එනම් බොහෝ මෑත කාලයේදී ක්‍රමවත් ව සකසන ලද අතිශය සංකීර්ණ න්‍යායයක් භාරතීය සංගීතය සතුය.වර්තමානයේ පවා මෙම න්‍යායයන් පිළිබඳ බොහෝ පරස්පරතා පවතී. ජයසිංහ යෝජනා කරන්නේ  එලෙස ශත වර්ෂ ගණනක් ගතවන්නට නොදී  එම ඉතිහාස ගත පාඩම් තුළින් ලත් පරිචයෙන් පෑදී ඇති මාවත් ඔස්සේ දේශීය සංගීතයක් බිහි කර ගත යුතු බවයි. එනම් දේශීය ගැමි ගීය ඇසුරින්  අපගේම සම්ප්‍රදායක් බිහි කර ගත යුතු බවයි. ඔහුට අනුව ඒ කාර්යය සඳහා භාරතීය සංගීතය මෙන්ම බටහිර සංගීතයද දායක කර ගතහැකිය.

කුමන ආකාරයක් වුවත් කම් නැතියැයි සිතා කුමක් හෝ ස්වර ටිකක් ගළපා දේශීය සම්භව සංගීතයක් නිර්මාණය කරගත නොහැකි බව ජයසිංහගේ අදහසයි. එසේම වෙනත් රටක සම්ප්‍රදායයක් හා දේශීය නාද මාලා සන්සන්දනය කරන්නට යාමද අනුවණ කාර්යයක් බව ජයසිංහ සඳහන් කරයි.

 " සිංහල සාම්ප්‍රදායික ගීතයක මුල් පාදය එම ලෙසින් ම ගයා  තවත් කුමන පිළිවෙළේ හෝ ස්වර ටිකක් එයට ඈදා ගීයක් තනා ගැන්මෙන් සිංහල බව රැකිය නොහැකිය.සිංහල සාම්ප්‍රදායික ගීයක් හා හින්දුස්ථානී රාගයක් සමකොට සිතා ඒ රාග ස්වර ,සෛහලීය වශයෙන් ගැනීම සාවද්‍යය. එම ප්‍රයත්නය නිසා මෙතෙක් රැකී ඇති සිංහල සාම්ප්‍රදායික ගීත වල මූලික නාදමාලා පවා අපට අහිමි වේ. " (75 පිට)

" හින්දුස්ථානී රාගත් , කර්නාටක රාගත් එකිනෙකටාසමාන වන්නා සේම එවන් අසමාන රාග හෙවත් රැඳි සිංහලයන්ටද සකස්කොට ගතහැකි යැයි සිතේ.ඒ සිංහල බවක් තිබිය යුතුවන්නා සේම අනෙක් ජාතීන්ගේ රාගවලින් වෙන් කොට ගැනීමටද  හැකි විය යුතුය.  " (74 පිට)

සාම්ප්‍රදායික සිංහල ගීයක් වර්ධනය කරගැන්මට මඟක් මුලින්ම පෙන්වා දුන්නේ මකුළොලුව මහතාගේ හෙළ ගී මඟ ය යන්න   ජයසිංහගේ අදහසයි.එහි එන භාව ක්‍රමය දේශීය නව නාද මාලා නිර්මාණය සඳහා උචිත මාර්ගයක් බව ඔහුගේ අදහසයි.එසේමදේශීය නාද මාලාවන්ගේ ස්වරයන්ගි ගමන පිළිබඳ මනා අවබෝධයද ඒ සඳහා අතිශය වැදගත් බව ඔහුගේ මතයයි.

"සිංහල සාම්ප්‍රදායික ගීත වල ......................................ස්වර රටාව එකිනෙකට වෙනස් බව පැහැදිලිව පෙනෙන කරුනකි.මෙලෙසින් එකිනෙකට වෙනස් Rඇඳි ගැන දැනීමක් ලබා ගැනීම   සිංහල රැඳි සකස් කිරීමේදී වැදගත් වේ.......................................ස්වර චාරය පිළිබඳ නිවැරදි දැනුමකින් තොරව සිංහල රැඳි සකස් කිරීම කෙළෙසින්වත් කල නොහැකිය. "  (74 පිට හා  75 පිට)

නාද මාලා සැකසීමේදී ඇතැමෙකුගේ තර්කය වනුයේ සාම්ප්‍රදායික නාද මාලාවන්ගෙන් හින්දුස්ථානී නාද මාලා මතුවන බවයි. ජයසිංහට අනුව එහිදී කළ යුත්තේ ස්වර හැසිරීම නිවැරදිව බලා හින්දුස්ථානී සංගිතය කුරු කර නොගෙන සිංහල හැටියෙන් ගළපා සිංහල නාදා මාලාවක් සෑදීමට උත්සාහ ගැනීමයි. එයට මනා සමීක්ෂණාත්මක හා පර්යේෂණාත්මක බුද්ධියක් තිබීම වැදගත් බව ඔහුගේ අදහසයි.

ස්වර ප්‍රස්තාර ක්‍රමයක් සැකසිය යුත්තේ අදාල ගීයට ආසන්න දළ අදහසක් එන ලෙස නොව සර්වප්‍රකාරයෙන්ම සම්පූර්ණ වන ආකාරය විය යුතු බව ද ඔහු විසින් ඉදිරිපත් කරනු ලබන අදහසකි. වර්තමානයේ පවා ගැමී ගීයට අැත්තේ නාද මාලාව පිළිබද අාසන්න වශයෙන් නිර්මාණය කරන ලද ප්‍රස්තාර ක්‍රමයක් නිසා එය ඉතා වැදගත් කාරණයක් වන්නේය. නමුත් එසේ  පූර්ණ ලෙස ප්‍රස්තාර කල හැකි ක්‍රමයක් යෝජනා කර නොතිබීම මෙහි එන අඩුපාඩුවකි. එහෙත් එම ප්‍රස්තාර ගායනය සඳහා ප්‍රධානත්වයකින් සැකසිය යුතු බවය ඔහුගේ අදහස. මෙහි ඇති තවත් දුර්වලතාවයක් වන්නේ කර්තෘ ගැමි ගීයේ විශේෂ ලක්ෂණයක් වන පුද්ගල මූලික නාද මය තනු පැවතීම  පිළිබඳ අවධානය යොමු කර නොමැති වීමත් එසේ පවතින විට අංගසම්පූර්ණ ප්‍රස්තාරයක් සැකසිය හැක්කේ කෙසේද යන්න ත් සඳහන් කර නොතිබීමත් වේ.

ජයසිංහ මීලඟට මතුකරන ප්‍රධාන කාරණයක් කෙරෙහි අවධානය යොමු කරමු. හින්දුස්ථානී රාග වල සමාන ස්වර යෙදෙන රාගය වෙන්කර ගත හැක්කේ ප්‍රධානව යෙදෙන සංගති ඇසුරින්ය. ජයසිංහ පවසන ආකාරයට  හින්දුස්ථානී රාග වල එසේ පවතී නම් දේශීය නාද මාලා වලද එසේ පැවතිය යුතුය. උදාහණද දක්වමින් ඔහු ප්‍රකාශකරන්නේ එවැනි මූලික නාද කොටස් ගළපා මුල් තනුවට හානි නොවන සේ නව නාද මාලා  නිර්මානය කිරීම උචිත බව ය .ඔහු පවසන ආකාරයට "අවශ්‍යතාවත් ක්‍රියාකාරීත්වයත් ඇතිනම් සංගීත විෂයෙහි නිපුණයන්ට මෙය අපහසු නොවේ." ඔහු විසින් එසේ නිර්මාණය කරන ලද ගීත ප්‍රස්තාර කිහිපයකුත් පසුව දක්වා ඇත. කෙසේ වෙතත් ඉතා වැදගත් කරුණු බොහොමයක් ඔහු මේ ලිපිය ඔස්සේ මතු කරන්නට උත්සාහ ගෙන ඇති බව හඳුනාගත හැකිවේ. ඔහු පළ කළ කරුණු වල සාධනීය අසාධනීය භාවය විනිශ්චය කිරීමට උත්සාහ කිරීම පසෙකළා    ඔහු අවසාන වශයෙන් සඳහන් කරන අදහසකින් මෙම ලිපිය නිමා කරන්නට කල්පනා කලෙමු.

"සිංහල රැඳි  සකස් කිරීම සඳහා ඇත්තේ මේ මඟ පමණය යි නොසිතිය යුතුය.තවත් නොයෙකුත් මං තිබිය හැකිය.කුමන මඟ ගියත් අවසාන ඵලය එකක් වියයුතු. (80 පිට) "


ඔබේ අදහස් කොමෙන්ටුවකින් සටහන් කිරීමට අමතක නොකරන්න.

No comments:

Post a Comment

ගැමි ගීයේ නිදහස

 ගැමි ගීයේ නිදහස   සංගීතය මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ  පරිණාමික සංවර්ධනය පිළිබිඹු කරන්නකි. සංගීතය රසවින්දනාත්මක නිෂ්පාදනයක් මෙන් ම එදිනෙදා ඇතිවන නා ...