දෙවොල් මඩු ශාන්තිකර්මයේ එන වාහල නර්තනය
හැඳින්වීම
දේව විශ්වාස හා ඇදහිලි ලොව බොහෝ සංස්කෘතීන්හි අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ . විශේෂයෙන් ආසියාතික රටවල් බොහොමයක දෙවියන් පිළිබඳ විශ්වාසය අනාදිමත් කාලයක සිට පවතී. මානවයා එදිනෙදා ජීවිතයේදී තමන් හට මුහුණ දීමට සිදුවන නොයෙකුත් ගැටළු සඳහා දෙවියන් හෝ වෙනත් බලවේගයන් හි පිහිට පැතීම මානව ඉතිහාසයේ ආරම්භක යුගය දක්වා දිවෙනන්නකි¡ මනුෂ්‍යයා හට සෙත සලසන දෙවියන් සේම මනුෂ්‍යයාගේ අයහපත සඳහා පෙනී සිටින යක්ෂ නමින් හැඳින්වෙන අමනුෂ්‍ය කොට්ඨාසයක් පිළිබඳ ව ද ලාංකේය සංස්කෘතියේ විශේෂ අවධානයක් යොමු වේ.ඒ අනුව පුරාණයේ පටන් ශාන්තිකර්ම නමින් හැඳින්වෙන අභිචාර ක්‍රමවේදය ඔස්සේ ස්වකීය අභිවෘද්ධිය උදෙසා ලාංකේයයා යකුන් හා දෙවියන් සමඟ කටයුතු කරන බවක් හඳුනාගත හැකි වේ . ප්‍රධාන වශයෙන් උඩරට , පහතරට , සබරගමු වශයෙන් වර්ග කර දක්වන සිංහල ශාන්තිකර්ම අතුරින් පහතරට ශාන්තිකර්ම සම්ප්‍රදායයට අයත් ප්‍රධානත ම ශාන්තිකර්මය ලෙස හැඳින්විය හැක්කේ දෙවොල් මඩු ශාන්තිකර්මයයි. ලංකාවේ වැඩි වශයෙන් පහතරට ප්‍රදේශයන් හි සුළු වෙනස්කම් සහිත ව දෙවොල් මඩු , ගම් මඩු , පූනා මඩු ආදී වශයෙන් මෙම ශාන්තිකර්මය පවත්වනු ලැබේ . මෙහි පූජාවට ලක්වන දැඩිමුණ්ඩ දෙවියන් හා ඒ හා බැඳුණු වාහල නර්තනය පිළිබඳ විමසුමක් සිදු කිරීමට මෙම ලිපියෙන් අපේක්ෂා කෙරේ.
දෙවොල් මඩු ශාන්ති කර්මය
දෙවොල් මඩු ශාන්ති කර්මය යහපත හා සශ්‍රීකත්වය අරමුණු කරගෙන පවත්වනු ලබන ලංකාවේ පහතරට ප්‍රදේශයන් හි ව්‍යාප්ත ව පවත්නා ශාන්ති කර්මයකි. වාර්ෂික ව දේවාල ආශ්‍රිත ව මෙන් ම ගම් වල එළිමහන් භූමියක මෙය පවත්වනු ලැබේ. පත්තිනි දේවතාවිය හා දෙවොල් දේවතාවා මුල්කරගෙන මෙම ශාන්ති කර්මය සිදු කරනු ලැබේ. දින කිහිපයක් පුරා සිදු කරනු ලබන මෙම ශාන්ති කර්මයේ තොටඹෙට යාම , ඔරුමාල පිදේනිය දීම , හඟල පේ කිරීම , තෙල් වැඩම වීම , රාත්‍රී පහන් දැල්වීම , මල් යහන් දැල්වීම , යහන් පිරීම ,කාල පන්දම් යාගය ,පන්දම් නැටීම නොහොත් පන්දම් පාලිය, හැන්දෑ සමයම නැටීම , බිසෝ කප සිටුවීම , තොරන් යාගය , පත්තිනි නැටීම ,හළඹ පාවා දීම නොහොත් හළං පේ කිරීම , මඟුල් ඛෙර වාදනය , තෙල්මේ නැටීම , මැදියම් සන්නි පිදේනි පුද කිරීම , දේව මුරුතැන් පිදීම , වාහල නැටුම යන අංග අවසානයේ ගරා යක් නැටීමෙන් හා දේව දානයකින් ශාන්ති කර්මය නිමා වෙයි. අතීතයේ මංගර උපත , මරා ඉපැද්දීම , අඹ වියමන ආදී නාට්‍යමය ජවනිකා රඟ දැක්වූවද වර්තමානයේ ඒවා පැවැත්වීම අභාවයට යමින් පවතී. මල් හත් පදය නැටීම , තෙල්මේ නැටීම , පත්තිනි නැටීම , මඟුල් ඛෙර හා වාහල නැටීම යන නර්තන අංග දෙවොල් මඩුවේ අනිවර්යෙන්ම රඟ දක්වනු ලබන නර්තන අංග වෙයි. සාමාන්‍යයෙන් පත්තිනි දේවිය මුල්කරගෙන සිදු වන ශාන්තිකර්මයක් බැවින් දෙවොල් මඩුව පවත් වනු ලබන දේවාලයේ මහ කපු මහතා පත්තිනි රාළ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබයි. වර්තමානයේ ඇතැම් දෙවොල් මඩු වල ගිණි පෑගීමේ චාරිත්‍රයක් ද ඉටු කරනු ලබයි. මෙය පැවැත්වීම අනිවාර්ය නොවුනද නවගමුව , කොරතොට වැනි දේවස්ථානයන් හි ඇතැම් වාර්ෂික ව පවත්වනු ලබන ගම්මඩු ශාන්ති කර්මයන්හි මෙම ගිණි පෑගීම සිදු කරනු ලබයි. (2018.09.16 දින කොරතොට පුරාණ දේවාලයේ පැවැත් වූ දෙවොල් මඩුවේ දී ලත් නිරීක්ෂණ ඇසුරින් )
වාසල දෙවි හෙවත් දැඩිමුණ්ඩ දෙවියෝ
දෙවොල් මඩුවේ පුද ලබන ප්‍රධාන දෙවිවරුන් දෙපළ වන පත්තිනි දේවතාවිය හා දෙවොල් දෙවියන් ට අමතරව සමන් දෙවියෝ කතරගම දෙවියෝ , සතර වරම් දෙවිවරු ආදී දෙවිවරු පූජාවට ලක් වෙති. මොවුනතුරෙන් පූජාවට ලක්වන විශේෂ දේවතාවෙකු ලෙස දැඩිමුණ්ඩ දෙවියන් හඳුන්වා දිය හැකි වේ. දැඩි මුණ්ඩ දෙවියන් එක් ගමකට හෝ ප්‍රදේශයකට හෝ පළාතකට පමණක් සීමා වූ දෙවියෙකු නොවන බව උගතුන්ගේ මතයයි. විශේෂයෙන් මෙම දෙවි උඩරට , පහතරට , සබරගමු නර්තන සම්ප්‍රදායයන් තුනෙහි ම විශේෂ කාර්යයන් හා සම්බන්ධ වී සිටීමෙන් එම කාරණය සනාථ වේ.විශේෂයෙන් අමනුෂ්‍ය පිරිස් අවනත කරගැනීමේ ක්‍රියාවලිය සඳහා සෘජුව ම සම්බන්ධ වන දේවතාවෙකු වශයෙන් මෙම දෙවි හඳුන්වා දිය හැකිය. (ඕවිටගෙදර සුනිලා , 2001 ) මෙ දැඩිමුණ්ඩ දෙවියන්ගේ උපත පිළිබඳ ප්‍රවාද භාවිතයේ එතරම් ප්‍රචලිත ව නොපවතී. එහෙත් දැඩිමුණ්ඩ දෙවි උපත පිළිබඳ ජාතක පොතේ විධුර ජාතකයට සම්බන්ධ කොට නිර්මිත ප්‍රවාදයක් පවතී.
දීර බලැති ලොව පරසිඳු යකුහට
කාර බැඳපු එබිසෝ ළඳ සරණය සිහි කොට
වාර ගණන් කල් පසු වුණිද බිසවට
නෑර එ පූර්ණක යකු හට දා කොට
වරන් ඇතුව ලක්දිව පන් දහසට
නරන් රකින ලොව සාසන මතු පන් දහසට
සුරන් ඉසුරු සැම දෙවියන් රැස් කොට
ඉරන්දතී බිසවගෙ කුස පිළිසිඳ එම විට
වැස මවු ගැබ සැපසේ වැඩ උන්නා
දස මස පසුවුණි බිසවට ලකුණු පෙනෙන්නා
රැක මිණි කලඹක් සේ දිලි සෙන්නා
දස වියතුනි දැඩි මු~ සුර කුමරු උපන්නා (ඕවිටගෙදර සුනිලා , 2001 , 72, 73 පිටු)
මේ අනුවදැඩිමුණ්ඩ පූර්ණක යක් සෙනෙවියාට දාව එරන්දතී නාග කන්‍යාවගේ කුසින් උපන් අයෙකු බවට ජනශ්‍රැති හෙළි කරයි.එරන්දතී යනු විධුර ජාතකයේ එන වරුණ නා රජුගේ හා විමලා දේවියගේ දියණියයි. පූර්ණක යක් සෙනෙවිට දාව ඇගේ කුසෙන් උපන් බැවින් ද , වරුණ නා රජුගේ හා විමලාවන් ගේ මුණුපුරු වූ බැවින්ද ඔහු සුදුමල් කුමාරයා ලෙසද හඳුන්වන බව ද පැවසේ. තවත් ජනශ්‍රැතියකට අනුව ඔහු උපුල්වන් මහ රජුගේ හා සඳවතී දේවියගේ පුත්‍රයා ය. (ලංකාතිලක , 2002, 44 පිට, )
බොහෝ ප්‍රදේශ වල දැඩිමුණ්ඩ දෙවි වන්දනාවට ලක් වන දෙවියෙකු ලෙස හඳුනාගත හැකි වේ. (විචක්ෂණ ,2017) දැඩිමුණ්ඩ දෙවියන් කෑගල්ල ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් ඇදහීමට ලක් වන දෙවියෙකු ලෙස හඳුනා ගත හැකි අතර ප්‍රධාන දැඩිමුණ්ඩ දේවාලය මාවනැල්ල ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම දේවාලය . ගල කැප්පූ දේවාලය , අලූත් නුවර දේවාලය . යන නම් වලින්ද හඳුන්වා දෙනු ලැබේ. පැස්කුවල් (2016) ට අනුව වාහල දෙවි බස්නාහිර මෙන් ම සතර කෝරළේ ප්‍රධාන ව ඇති සබරගමුවේ ද ප්‍රචලිත දෙවි කෙනෙකි. (140 පිට)
මෙම දෙවියන් හඳුන්වනු ලබන අන්වර්ථ නාම රැසකි. සෙනෙවිරත්න අධිකාරම් , අලූත් නුවර දේවතා බණ්ඩාර , සඳුන් කුමාර , මැණික් බණ්ඩාර, කීර්ති බණ්ඩාර , ඌවේ බණ්ඩාර යනාදිය කීපයකි. දැඩිමුණ්ඩ දෙවියන්ට පර්යාය නම් 44 ක් ඇති බව ඇතැමුන්ගේ මතයයි. (ලංකාතිලක , 2002, 44 පිට) ඇතැම් පාරම්පරික ඇදුරෙකුට අනුව දේවතා බණ්ඩාර ලෙස හැඳින්වෙන්නේ ද දැඩිමුණ්ඩ දෙවියන් මය . (2019.03.20 දින පාරම්පරික දෙවොල් මඩු ඇදුරු ශෙල්ටන් රණසිංහ මහතා සමග කළ සම්මුඛ සාකච්චාව ) ජනප්‍රවාදයට අනුව බුදු රදුන් මාර යුද්ධයට මුහුණ දෙන අවස්ථාවේ සියලූම දෙවි වරුන් මාර දිව්‍ය පුත්‍රයාට බියෙන් පළා ගියද ඔහුට බියෙන් පළා නොගොස් සිටි එකම දෙවියා වනුයේ දැඩිමුණ්ඩ දෙවියන් ය.නම කී සැණින් යක්ෂයන් බිය වී පළා යන තරම් බලයක් මෙම දෙවියන් හට ඇතැයි ජනතා විශ්වාසයක් පවතී. බෞද්ධ දෙවිකෙනෙකු ලෙස සැලකිය හැකි මෙම දේවතාවා යක්ෂ උවදුරු නැති කිරීමටත් තෙරුවන කෙරෙහි ශ්‍රද්ධාවෙන් සිටින තැනැත්තන් ආරක්ෂා කරන බවක් ද කියැවේ. මෙම දෙවියන්ට පිරිවර සේනාවක්ද ඇති බව පැවසේ. ඒ ප්‍රේත , නාග , කාලි , කණ්ණඩි , රාග, නාද , ගොපලූ , පිල්ලි , ගිණිජල් , ගිනිබ්‍රාඩ් , මල්ලව , බාග , දෙවොල් , වටුක , ඔමරි , මංගර ආදීන් හා දෙපස කඩවර දෙන්නෙක් වශයෙනි. (ලංකාතිලක , 2002, 46 පිට) සෝමකීර්ති පවසන ආකාරයට මෙම දෙවියන් යක්ෂයෙකැයි ජනතාව අතර පවතින මතය සාවද්‍ය ය. ( 1996 ,51 පිට )
දැඩි යන්න . මුරණ්ඩු . යන අරුතත් මුණ්ඩ යනු .මුඩු කළ. යන අදහස ත් ගෙන දෙන බව මංගල කීර්තිගේ අදහසයි. (140 පිට ) දැඩි මුණ්ඩ යන්නෙන් නිර්භීත ශක්තිමත් පුරුෂයා යන අර්ථය ගෙන දෙන බව ඕවිටගෙදර ගේ මතයයි. (2001, 69 පිට) පුරාතන යුගයේ පටන් විවාහ මංගලෝත්සව වලදී දැඩිමුණ්ඩ අෂ්ටක ගැයීම සිරිතකි. තවත් පුරාවෘතයකට අනුව දැඩිමුණ්ඩ දෙවියන් යක්ෂයන්ට අධිපති වෛශ්‍රවණ දෙවියන්ගේ සේනාපති වෙයි. තවද දැඩිමුණ්ඩ දෙවියන් වරෙක විෂ්ණු දෙවියන්ගේ අමාත්‍ය වරයා ලෙසද කටයුතු කර ඇති බව ද පැවසේ. (ධර්මදාස සහ තවත් අය , 1994 ,72,129,130 පිටු) උපුල්වන් දෙවියන්ගේ නමින් පවතින අලූත් නුවර දේවාලයට උපුල්වන් දෙවියන්ගේ රුවක් රැගෙන ආ පටන් දැඩිමුණ්ඩ දෙවියන් එම දේවාලයේ ආරක්ෂක දෙවියෙකු ලෙසට කටයුතු කර ඇති බවක් පැවසේ. ඇම්බැක්කේ ප්‍රධාන දේවාලයේ පූජාවට පාත්‍ර වන කතරගම දෙවියන්ගේ ද අධිකාරම් වරයා වශයෙන් සේවය කරන නිසා මෙම දෙවියන්ට වාහල දේවතා බණ්ඩාර යන නාමය ද යොදනු ලැබේ. (ඕවිටගෙදර සුනිලා , 2001,59 පිට) අලූත් නුවර දේවාලයේ දැඩිමුණ්ඩ දෙවි බලවත් වීමට විවිධ ආශ්චර්යවත් සිද්ධීන් හේතු වී ඇත. හතර කෝරළයේ සියලූ පහසුකමින් යුතු දේවාලයක් ඉදිකළ පසු එයට පැමිණීමට ඇති මාර්ගයේ පැවති විශාල පර්වතයක් යකුන් යොදා දෙකඩ කළ බවක් ජනප්‍රවාදයේ එයි. දැඩි මුණ්ඩ දෙවි දුටු ගැමුණු රජු වෙනුවෙන් යුධ ජයග්‍රහණයේ යෙදීමත් , මහනුවරින් හා ඇම්බැක්ක ප්‍රදේශයෙන් පෘතුගීසින් පළවා හැරීමත් , අලූත් නුවර දේවාලය පෘතුගීසින්ගෙන් ආරක්ෂා කරගැනීම වැනි වීර ක්‍රියා සිදු කර ඇති බව ද ජනප්‍රවාදයේ එයි. (ඕවිටගෙදර සුනිලා , 2001,61 පිට)
පරංගි රට අල්ලා සුනු මෙලයක් අලූත් නුවර වටලා ගත්තේ
බඳින්ඩ කියමින් වස්තුව ගන්නට දෙවියන්ටත් වින කර නිත්තේ
යකුන්ට අ~ ගහ එහු බඳවා රැබයෙන් එගොඩ පන්නා ගත්තේ
යකුන්ඩ රජකම් ගත්තා - වැන්නේ දේවතා බණ්ඩර මේ වැත්තේ (එම )
දැඩිමුණ්ඩ දෙවි එනම් වාහල දෙවි හා දෙවොල් දෙවි යනු එක් අයෙක් බවට තමා සැක කරන බවට සරච්චන්ද්‍ර (1966) පවසන අතර එය සනාථ කිරීමේ සාධක දෙවොල් නාමේ යන කෘතියේ එන zවාහල දෙවොල් නාමේ , වාහල දෙවොල් යාගේ Z යන යෙදුම් තුළින් හැඟවෙන බව පෙන්වා දෙයි. (48 පිට )
කෙසේ වුවත් මෙම දෙවිවරුන් දෙදෙනාම දෙවොල් මඩුවේ වෙන වෙන ම පූජාවට ලක් වීම ද විමසිය යුත්තකි. ගම්මඩු දෙවොල් මඩු ආදියෙහි දෙවොල් භාගය , වාහල භාගය වශයෙන් දෙකොටසකින් යුක්ත ව නැටීම එයට හේතුවයි. ඒ අනුව බහුතර මතය අනුව මෙම දෙවිවරුන් දෙදෙනා දෙදෙනෙක් ලෙස හඳුන්වා දෙනු ලැබේ. ශාන්ති කර්මයේ මෙම දෙවිවරුන් දෙදෙනා ම පූජාවට ලක් වන්නේ අළුයම් කාලයට ආසන්නයේදී ය.
වාහල නැටීම
දෙවොල් මඩු ශාන්තිකර්මයේ දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රධානත ම පූජාව වනුයේ මෙම වාහල නර්තනයයි. මෙය අතිශය උද්වේගකාරී මෙන් ම ත්‍රාසජනක නර්තනයකි. සාමාන්‍යයෙන් වාහල නටනු ලබන්නේ එක් ශිල්පියෙකු විසිනි. එහෙත් ඇතැම් තැනක දෙදෙනෙක් විසින් වාහල නර්තනය ඉදිරිපත් කරනු ද දක්නට ලැඛෙයි. (2018.09.16 දින කොරතොට පුරාණ දේවාලයේ පැවැත්වූ දෙවොල් මඩු ශාන්ති කර්මයේ නිරීක්ෂණ ඇසුරින්) එහෙත් ඇතැම් මූලාශ්‍රය වල වාහල නර්තනය පිළිබඳ සඳහන් නොවේ. ඒ වෙනුවට එම මූලාශ්‍රයයන් හි දෙවොල් නර්තනය ද වාහල නැටුම ලෙස හඳුන්වා ඇත. ( අග ඡ්මක ල161 පිට)
වාහල නර්තන ශිල්පියා වාහල නැටීමට පෙර අව ම සතියක්වත් මාංශයෙන් තොර විය යුතු බව සම්මතයකි. සාමාන්‍යයෙන් වාහල නර්තනය සිදු කිරීම සඳහා අවසර ලැඛෙන්නේ ගුරුකුලයක බොහෝ විට එක් අයෙකුට හෝ දෙදෙනෙකුට ය. ඔවුන් ගුරුකුලයේ දක්ෂම ශිෂ්‍යයන් අතරින් තෝරා ගන්නා අතර ඒ සඳහා විශේෂ පුහුණුවක් ලබා දේ. වාහල නර්තනයේ යෙදෙන තැනැත්තා හෝ තැනැත්තන් හට තෙල්මේ නැටීම සඳහා අවකාශ හිමි නොවේ. එසේ වාහල නැටීමට පෙර ඔහු ඉතා හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටිය යුතුය.
වාහල නර්තනයට භාවිත කරන ඇඳුම් ආයිත්තම්
වාහල නර්තනයේදී අදාළ ශිල්පියා විචිත්‍රවත් රතු සුදු සේලයකින් , හැට්ටයකින් හා උල් මුදුනක් සහිත තොප්පියක් පළඳියි. තොප්පියෙන් දෑස් වසා ගැනීම සිදු කරයි . පාරම්පරික ශිල්පීන්ට අනුව එම හිස්වැසුමෙන් නිරූපණය වන්නේ දැඩිමුණ්ඩ දෙවියන්ගේ හිස්වැසුමයි. මෙම තොප්පිය විශේෂ අංගයක් වන අතර එවැනි හිස් පළඳනාවක් ශාන්ති කර්මයේ පළඳින එකම අවස්ථාව වාහල නර්තනයි. සමහර ප්‍රදේශවල (දිවුලපිටිය වැනි) හිස ආවරණය කිරීම සඳහා ලී වලින් සාදන ලද වෙස්මුහුණක් සහිත කේතු රූපාකාර හිස් වැසුමක් භාවිත කරයි. ( 2019.03.20 දින සියනෑ කෝරළයේ පාරම්පරික නර්තනාචාර්ය හා භූත විද්‍යා උපදේශක තීක්ෂණ මධුෂාන් මහතා සමඟ කළ සාකච්චාව ) මීට අමතරව පහතරට ශාන්තිකර්මයන් හි අනිවාර්ය පැළඳුමක් වන ගිගිරි පැළඳීම ද සිදු කරනු ලැබේ.
වාහල දේවාරූඪය හා නර්තනය
අනෙකුත් විශේෂ කාරණය නම් දෙවොල් මඩු ශාන්ති කර්මයේදී දේවාරූඪයෙන් නැතහොත් යම් ආවේශ වීමකින් මෙම වාහල නැටුම නටන්නේ ය යන ජනතා විශ්වාසයයි. නර්තන ශිල්පියා නර්තනය ආරම්භ කිරීමට මුල පුරන්නේ කාල පන්දම් ගස නැමැති ස්ථානය අසල සිට ය. වාහල දෙවියන්ගේ ආකර්ෂණය ලැඛෙන මන්ත්‍ර 21 වර සාම්බ්‍රාණි සුවඳ දුම් වලට මතුරා නර්තන ශිල්පියා කාල පන්දම් ස්ථානයේ හිඳුවා ඔහුගේ සර්වාංගයට ම අල්ලනු ලැබේ.
ඒ අතරතුර වාහල දෙවියන්ගේ කවි හා උපත් ගී ගායනා කරනු ලබයි.
—පවන් සිසිල සොමි ගුණෙහි ලතාවේ
රුවන් වැලක මිණි ඇමිණු ලතාවේ
රුවන් ඇලෙන් වැසි මල් වරුසාවේ
කියන් උපත වාසල පුවතාවේ
වරන් ලබා ලොව දිසි පන්දහසට
සුරන් සදිසි සහ දෙවියේ එම වට
නරන් රකිති මුණි දෙවි පන්දහසට
එරන්දතිය කුස පිළිසිඳ පතරට
තොසේ මව් ලැබ යස සේ වැඩ උන්නා
බැස මිනි කලඹක් සේම දිලෙන්නා
දස මස් පසු වී ලකුණු පෙනෙන්නා
අස්විය ඇති දැඩිමුරු කුමරු උපන්නා
කපට පළමුපුල්වන් අවතාරේ
සතට අභය දෙන නාරායන අවතාරේ
ලකට පසිඳු දස වෙස් අවතාරේ
යකුට කියන් පරසිඳු දැඩිමුළු අවතාරේ ˜ (2019.03.20 සාකච්චාව )
වාහල දේවාරූඪය ලබා ගැනීමට මතුරනු ලබන මන්ත්‍ර දිෂ්ටි මන්ත්‍ර ලෙස හඳුන්වා දෙනු ලැබේ. සිදුකරන ලද සම්මුඛ සාකච්චාවන්ගෙන් අනාවරණය වූයේ සෑම ආරූඪයක් සඳහා ඒ ඒ ගුරුකුල වලට අනන්‍ය දිෂ්ටි මන්ත්‍ර පවතින බවයි. මෙහි භාෂාව බොහෝ විට සංස්කෘත මිශ්‍ර සිංහලයට නෑකම් කියයි. මේ එවැනි එක් දිෂ්ටි මන්ත්‍රයකි.
—ඕං ගුරු වරං ගුරු පත්‍ර කාලි වරං , සුර වරං සුර පත්‍ර කාලී වරං අසුර වරං අසුර පත්‍ර කාලී වරං දේව වරම් දේව පත්‍ර කාලි වරං නාග වරං නාග පත්‍ර කාලි වරං කීලාසන වරං කීලාසයේ ගුරු ධරණේ වරං යන්ත්‍ර වරං යන්ත්‍ර මන්ත්‍ර වරං තන්ත්‍ර වරං ශ්‍රී විෂ්ණු නාරායණේ වරං ...... ˜
මේ මන්ත්‍රය සමඟ තව දිෂ්ටි මන්ත්‍ර ද භාවිත වේ. බොහොමයක් මෙම මන්ත්‍ර අනුප්‍රාස බහුල වේග රිද්ම ගද්‍ය පාඨ වෙයි.
නර්තනයේ ආරම්භය
වාහල කවි ගයා දුම්මල ඇල්ලීමෙන් පසුව ශිල්පියා දේවාරූඪය ලබයි. එහිදී වේගවත් ඛෙර වාදනයක් ඉදිරිපත් කරන අතර ශිල්පියා වේගයෙන් ගැහීමට ලක් වේ. කොට්ටෝරුවෝ නමින් හැඳින්වෙන අත් උදව් කරුවෝ එහිදී ශිල්පියා වේගයෙන් අල්ලා ගෙන සිටින අතර සුදුසු අවස්ථාව එළඹි කල්හි ශිල්පියා මඩුභූමිය දෙසට තල්ලූ කරනු ලැබේ. එහිදී ශිල්පියා වට කීපයක් වේගයෙන් කැරකෙමින් ඉදිරියට යන අතර එය පහතරට නර්තනයේ මාලක්කන් රැල්ල නමින් හඳුන්වයි. පළමුවෙන්ම ප්‍රධාන තොරණ අසලට යන ශිල්පියා ඉන්පසු පිළිවෙලින් අනෙකුත් මල් යහන් වෙත ද යනු ලැබේ. මෙය යහන් දැක්ම ලෙස හඳුන්වනු ලැබේ. යහන් දැක්මෙන් අනතුරුව අගුරු කබල ශිල්පියාගේ අතට දෙනු ලබන අතර සෑම යහනක ටම දුම්මල දුම අල්ලනු ලැබේ. ඒ අතරතුරේද කෙටියෙන් නර්තනය ඉදිපත් කිරීම සිදුවෙයි. දුම් ඇල්ලීමෙන් අනතුරුව කාල පන්දම් ගස ලගට පැමිණෙන ශිල්පියා පූජා ද්‍රව්‍ය තබා ඇති මල් යහන තදින් අල්ලාගෙන සිටියි. එවිට සහයකයෝ ඔහුගේ අතට කහ දියර ඇති මැටි කොතලයක් ලබා දෙන අතර ශිල්පියා මුළු මඩු භූමියේම කහ දියර ඉසිමින් වේගයෙන් ගමන් කරයි. මීළඟට රඟ දක්වනු ලබන්නේ කළස් පාලියයි. මැටියෙන් කරන ලද කුඩා මුට්ටියක් ගෙන මෙම නර්තනය ඉදිරිපත් කරනු ලැබේ. නර්තනය අවසානයේ කලස කාල පන්දම් ගසේ ගසා කුඩු කරයි. ඇතැම් ශාන්තිකර්ම වල කළස් එක්කට වැඩි ප්‍රමාණයක් භාවිත කරන අතර වාහල නර්තන ශිල්පියා බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා තවත් මුට්ටි සූදානම් කරගෙන සිටියි. ඇතැම් ශිල්පීන් කාල පන්දමේ ගැසීම වෙනුවට සිය මුහුණට ගසා කුඩු කිරීමද සිදු කරති. ගම්පහ , නිට්ටඹුව , දෙල්ගොඩ වැනි ප්‍රදේශ වල ඇතැම් ශිල්පීන්ගේ මතය වනුයේ මුගුර නමින් හැඳින්වෙන වේවැලක් ගෙන මීළගට නර්තනයේ යෙදෙන බවයි.එම ශිල්පීනට අනුව වේවැලෙන් නිරූපණය වන්නේ දැඩිමුණ්ඩ දෙවියන් අත ඇති සැරයටිය බවයි. එහෙත් කොරතොට , නවගමුව වැනි ප්‍රදේශ වල රඟ දක්වනු ලබන මඩු ශාන්තිකර්මයන්හි මෙම වේවැල දක්නට නොලැබේ. මීළගට සෝලූ ලීය නමින් හැඳින්වෙන ලීයෙන් සැදූ උපකරණයක් ගෙන නර්තනය යෙදේ. එයද තැන්පත් කර තිඛෙන්නේ අනෙකුත් පූජා භාණ්ඩ තැන්පත් කර ඇති යහනේ මය. එයද දෙවියන්ගේ ආභරණයක් ලෙස සැලකේ. එම නර්තනයෙන් අනතුරුව පොල් මල් ගෙන නර්තනයේ යෙදීම ආරම්භ කරයි. පොල් මල් ගෙන නටමින් සිය මුහුණට තලා ගැනීම සිදුවෙයි. මෙය තරමක් ත්‍රාසජනක හා භයානක රංගනයක් වන අතර පොල් මල් සතක් දහහතරක් වැනි ප්‍රමාණයක් තලා ගැනීම සිදු වෙයි. මෙයින් අපේක්ෂා කරනුයේද වස් දොස් දුරු කිරීම වෙයි. ඇතැම් ශිල්පීන්ගේ මතය අනුව පොල් මල් වැඩි ප්‍රමාණයක් තලා ගැනීමට සිදු වන්නේ අදාළ භූමියේ දෝෂ වැඩි වන කල්හි ය.
පොල් මල් තලා ගැනීමෙන් පසු හක් ගෙඩිය ගනු ලබන අතර එය පිඹිමින් හා නර්තනයේ යෙදීමෙන් පසු උදාවන්නේ පන්දම් පාලියයි. මෙය ඉතා ත්‍රාසජනක ලෙස රඟ දක්වන අතර පත්තිනි තොරණ ඇතුළුව සෑම මල් යහනකට ම දුම්මල කීරි ගැසීම සිදු වෙයි. ඇතැම් අවස්ථාවලදුම්මල ගැසීමට පෙර පන්දම ගෙන පද කිහිපයක් නැටීමද සිදුවන අතර මඩු භූමිය අවටත් දේවලයක නම් සියලූ දේව මන්දිර වලටත් දුම්මල ගසමින් වේගයෙන් දිව යනු ලැබේ. එවිට ප්‍රේක්ෂකයෝ ද හිස් ලු ලු අත දුව යති. ප්‍රේක්ෂකයන් අතර භයානක රසය මතු කිරීමට මේ අවස්ථාව සමත් වන අතර කොට්ටෝරුවෝ ශිල්පියා පාලනයට උත්සාහ ගැනීමට ගන්නා මෙහෙය ඇතැම් විට ප්‍රේක්ෂකයන්ගේ උපහාසයට ද ලක් වෙයි. මඩු භූමියෙන් පිටතට ගිය ඇදුරා නැවත ගෙන්වා ගැනීම සඳහා ඛෙර වාදකයන් නොනවත්වා වේගයෙන් ඛෙර වාදනය කරන අතර එලෙස නොපැමිනියහොත් තෙවරක් සක් පිඹිමෙන් සඥා කොට ඔහු ගෙන්වා ගනු ලැබේ. එසේම එම අවස්ථාවේ දී වාදනය කරන ඛෙර පද පෙර වැයූ ඒවාට වඩා වෙනස් ස්වරූපයකින් යුතු වේ. අවසානයේ වාහල නටන ලද ශිල්පියා හෝ දෙපළ වාහල යහන ලඟ සිහිමුර්ජා වී වැටෙන අතර ඇතැම් මඩු වල එසේ සිහි මූර්ජා වන්නේ පත්තිනි තොරන අභියස ය. අනෙකුත් ශිල්පීන් විසි ඔහු පැදුරක හොවනු ලබන අතර දැහැන් මන්ත්‍ර නමින් හඳුන්වන මන්ත්‍ර 7 ක් කියා කහ වතුර ඉස පියවි සිහිය ගනු ලැබේ. මේ එවැනි එක් දැහැන් මන්ත්‍රයකි.
—ඕං හ්‍රීං වඩිග නීල කුරුම්බර දිෂ්ටි හැර තොපගේ විමන් බලා ඉගිල ඉගිල ඉර්දි නීල වඩිච්චියෙන් යංය ˜
සිහිය ලැබීමෙන් පසු ශිල්පියා විසින් සෙත් කවි කියා ආශිර්වාද කරනු ලැබේ. ඉන් වාහල නර්තනය අවසන් වේ. ඇතැම් පළාත් වල අවසානයේ ප්‍රේක්ෂකයන් විසින් ප~ුරු ලබා දීම ද සිදු කරනු ලැබේ.
වාහල ඛෙර පද
වාහල නර්තනය ඇතුළු සමස්ත මඩු පූජෝත්සවය සඳහා ප්‍රධාන අවනද්ධ භාණ්ඩය ලෙස යොදා ගැනෙන්නේ දෙවොල් ඛෙරයයි. එසේම අනෙකුත් නර්තන විශේෂාංගයන්ටත් වඩා වාහල නර්තනයේදී භේරී වාදනය සඳහා විශේෂ අවධානයක් දෙනු ලැබේ. සිදු කරන ලද නිරීක්ෂණ අනුව භේරී වාදන ශිල්පීන් බොහොමයක් මෙම අවස්ථාවේදී සිය දායකත්වය ලබා දීමෙන් තහවුරු වන්නේ ද එම කාරණයයි.එසේම කිසිදු ආකාරයක නැවැත්වීමකින් තොරව සමස්ත වාහල නර්තනය පුරා ඛෙර වාදනය අඛණ්ඩ ව පවත්වාගෙන යන අතර වයන ඛෙර පදයන්ගෙන් ආරූඪ වූ වාහල නර්තන ශිල්පියා පාලනය කළ හැකි බවට ඔවුන් අතර දැඩි විශ්වාසයක් ද පවතී. ඒ අනුව විවිධ රිද්මීය ලක්ෂණයන්ගෙන් යුක්ත ඛෙර පද වාහල නර්තනයේදී යොදා ගැනීම සිදු වේ. පහතින් දැක්වෙන්නේ එම ඛෙර පද කීපයකට නිදසුන් කීපයකි.
ඛෙර පද
යහන් දැක්මට පද
—ගුද් ගුඳ ගත ගත් ගත ගත.
දොන් රෙග දෙගත් රෙගත ගත් දෙගත ගත් දොංත ගත ගදිත ගුං $$
දොං රෙගත ගත් දෙගත ගත් දොංත ගත
ගදිත ගත දිකුඳ ගත ගදිත ගත දොංත ගත් දිකුඳ ගත්
දොංත ගත ගත්ත ගුංදං ගතං , ගත් තරිකිට ගුං තරිකිට
ගතත් දෙං රුඳත් ගත්ත ගුඳත් දෙහිං ගතත් ගත්ත ගතත් දෙහිං
රුඳත් දෙහිං ගුඳත් දෙහිං ගුඳ ගුඳිත ගත් තම් ගතං දෙහිං $$
රෙම් දෙහිං රුඳ ගුඳ ගත්ත ගුන්ද ගත් දිත් තත් ගුහිති ගත්
දිරිකිට ගුඳගත් දෙහිං $ ගුද් ගුඳ ගුඳ ගත් ගත ගත ˜
මේවා සම්පූර්ණ කොටස් 3 ක් වාදනය කරනු ලැබේ.
කහ දියර හා අඟුරු දුම් ඇල්ලීම සඳහා පද
—දොං ගුඳිගුං ගතං ගතං - ගදිගත ගුඳ ගතං ගතං ˜
පොල් මල් පදය සඳහා ඛෙර පද
—දුං ගුඳි ගුං දෙකත ගතත් ˜
මුගුර සඳහා ඛෙර පද
—රුඳ ගුඳ ගුඳ ගුඳිත - ගත ගත ගත ගුඳිත ගදිත ˜
මේ ආකාරයට සෑම අවස්ථාවක් සඳහා ම එකිනෙකට වෙනත් රිද්මීය ලක්ෂණයන්ගෙන් යුතු ඛෙර පද වාදනය කරනු ලැබේ.
සමාලෝචනය
සමස්තයක් වශයෙන් බලන කළ ගම්මඩු ශාන්ති කර්මයේ එන වාහල නර්තනය දැඩිමුණ්ඩ දෙවියන්ගෙන් ආතුරයා ට සෙත ශාන්තිය ලබාගැනීම උදෙසා අරමුණු කරගත් නර්තනාංගයක් වශයෙන් පැහැදිලි වේ. එසේම සමස්ත නර්තනාංගය පුරා දක්නට ලැඛෙන ජවසම්පන්න හා අද්භූ+ත ස්වාභාවය දැඩිමුණ්ඩ දෙවියන්ගේ බලය අන්‍ය ආකාරයකින් ප්‍රකට කිරීමට උත්සාහ ගැනීමක් ලෙස හඳුනා ගත හැකි වේ. බෞද්ධාගමික පසුබිමක් තුළ රෝපණය වූ දැඩිමුණ්ඩ දෙවියන් පිළිබඳ සංකල්පය ලාංකේය ජනතාවගේ ආගමික සංස්කෘතිය නිරූපණය කරන මූලිකාංගයක් ලෙසද වාහල නර්තනය එම දේව සංකල්පය ජනතාව අතර ව්‍යාප්ත කිරීමෙහිලා උපස්ථම්භනයක් වී ඇති බවද හඳුනාගත හැකි වේ. එසේම සංස්කෘතික උරුමයක් වශයෙන් මෙහි මහඟු වටිනාකමක් ඇති බවද හඳුනාගත හැකි ය.
තවත් ඡායාරූප
( Source : 2018 කොරතොට පුරාණ පත්තිනි දේවාලයේ පැවැත්වූ ගම්මඩු ශාන්තිකර්මය ඇසුරෙන් )
1.පත්තිනි තොරණ වෙත යාම
2. හත් පදයේ දුම් ඇල්ලීම
3. කාල පන්දම් ගස
4. දේවාලයේ ප්‍රධාන කපු මහතා පොල් මල් පාලිය සඳහා පොල් මල් සූදානම් කිරීම
5. වාහල නර්තනය නරඹන බැතිමතුන්
6. වාහල නර්තන ශිල්පියා කාල පන්දමේ රැඳී සිටීම.
7. ප්‍රේක්ෂකයන්ගෙන් ප~ුරු ලබාගැනීම
අති විශිෂ්ටයි
ReplyDelete