Wednesday, July 28, 2021

ගැමි ගීයේ නිදහස

 ගැමි ගීයේ නිදහස 



 සංගීතය මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ  පරිණාමික සංවර්ධනය පිළිබිඹු කරන්නකි. සංගීතය රසවින්දනාත්මක නිෂ්පාදනයක් මෙන් ම එදිනෙදා ඇතිවන නා නා විධ අවශ්‍යතා පූරණය කිරීමට යොදා ගනු ලබන එක් මෙවලමකි. ගායනය , වාදනය සංගීතයේ කොටස් ය.   සිසිල් ජේ ෂාප් නැමැති විද්වතා දක්වන ආකාරයට ගැමි ගායනයේ වටිනාකම කිසි කලෙකත් නොවෙනස්ව පවතින්නකි. එය මානව සංස්කෘතිය පිළිබිඹු කරන සංකේතයක් වන අතරම කාලානුරූපීව වර්ධනය වූ මානව පරිකල්පනය ද ප්‍රකට කරන්නකි. 

මේ ලිපියේ මාතෘකාව ට පදනම් වන්නේ ගැමි ගීයේ නිදහස යන්නයි. අන්‍ය ජීවිත වල පැවැත්මට හානි නොවන පරිදි රිසි සේ ජීවත් වීමේ අයිතිය නිදහසයි. ; සිතීමේ අයිතිය නිදහසයි ; කථා කිරීමේ අයිතිය නිදහසයි ; වැඩ කිරීමේ අයිතිය අයිතියයි ; ජීවිතය රස විඳීමේ අයිතිය නිදහසයි.  කැමති ලෙස ජීවත් වීමට හැමට අයිතියක් ඇත.  මේ අනුව සංගීතයට ද නිදහසක් ඇත.

වැඩක නි‍යැළෙන අතර ගීයක් මිමිණීම ඉබේ සිදු වන්නකි. බස් රියේ යන විට , මහ පාරේ යන විට ඇසෙන ගී මිමිණීමේ පුරුද්දක් අපට ඇත. පන්සලට පල්ලියට ගොස් දෙවියන්ට බුදුන් ට කවි ගයමු.  ඒ අයිතිය ට එරෙහි වීමට කිසිවෙකුටත් අයිතියක් නැත. ඇතැම්හු සමාජ මාධ්‍යයට පැමිණ ගී ගයති ; වයති ; ගයමින් වයති. ඒ ඒ අයගේ නිදහසයි. ඒවා අගය කිරීමටත් විවේචනය කිරීමටත් තවත් ලෙසකට නිදහසක් ඇත.

කලාත්මක සංගීතයට මෙන් ගැමි සංගීතයට ව්‍යාකරණ සෙවීම අපහසුය. එහි විවිධතා හඳුනාගැනීම සිදු කළ හැකි වූවත් , එය අගය කළ හැකි වූවත් නිශ්චිත ව මෙසේ ‍යැයි කිව හැකි ව්‍යාකරණයක් එහි නැත. ගැමි සංගීතය පුද්ගලික නිර්මාණයකි. සමූහ ලෙස ගත්තද , ඒකල ලෙස ගත්තද එහි පුද්ගලික බව නොනැසී පවතී. එය නිදසුන් කිහිපයකින් වටහා ගන්නට උත්සාහ ගමු. 

ගොයම් කැපීමකදී කිහිපදෙනෙකෙක් ව කවි ගයමින් ගොයම් කපන අවස්ථාවක් සිහියට ගනිමු. එක් අයෙක් ගීය පුරයි.අනෙක් අය අත්වැල් ගයති. නැතිනම් එක් එක් පුද්ගලයා වෙන වෙන ම ගයති. නැතිනම් හැම දෙනාම එකට ගයති. එහෙත් ඒ ඒ අයගේ ගායනයන් සර්ව සම වන්නේ ද ; නැත. එක් එක් කෙනාගේ ඇති ගායන හැකියාව , දැනීම , කැමැත්ත, සිතිවිලි හා වස්ථාව ආදී කරුණු මත ඒ ගායනයන් එක් එක් ගායකයාට අනන්‍ය වේ.  පිරිත් පින්කමක අවස්ථාවකට යොමු වෙමු. ස්වාමීන් වහන්සේලා පිරිතේ කොටස් බෙදා ගෙන ගයති. එක් නමක් පුරයි. අනෙකුත් හිමිවරු එයට සහාය වෙති. මේ ගායනා දෙස ද බලන විට පෙනෙන්නේ එකිනෙකා අතර වන සර්ව සම ගායනයක් එහි නොවන බවය. 

ගැමි ගීය ඇතැම් විට පරම්පරාවෙන් උරුමවන දායාදයකි. මේ කාරණය අතීතයේ නම් වඩාත් ප්‍රායෝගික වූවකි.  අම්මා දරුවන් නැළවිලි ගී කියමින් නළවන්නීය. ඇගේ සෙසු වැඩිමල් දියණියෝ ඒව අසා සිට හෝ වුවමනාවෙන් ම කියවාගෙන අසා පාඩම් කරගනිති. තමන් මව්වරුන් වූ පසු ඔවුන්ට ඒවා භාවිතයට ගත හැකිය. ඒත් පසුකලෙක ඔවුන් ගයන්නේ පෙර දිනක තමන්ගේ මව් ගැයූ ගීයම ද ; නැත. ඔවුහු ඒ ගී තමන්ගේ කැමැත්ත පරිදි වෙනස් කරගනිති. පැදියේ පදයක් මතක නැතිනම් නව පදයක් යොදා එහි හිස්තැන් පිරවීමට කිසිසේත් නොපැකිලෙති.  ගායනයද එසේමය. තොවිල් පළක , මඩු පොළක ගුරුන්නාන්සේ ගැයූ ගී තවත් දිනක ගෝලයා ට තරමක වෙනස් කර කියන්නට ද පුළුවන.

ගැමි ගීයේ මේ ගති ස්වාභාවය නිදහස  යන යෙදුමෙන් දැක්වීම සුදුසු ය. එය සීමා වලින් බැඳී නැති අපූර්ව  සංකල්පයකි. මෙහි ඇත්තේ පොදු හැඩයක් මිස එක් විශේෂිත නිපැයුමක් නොවේ. අප ශිල්පීය සංගීතය , කලාත්මක සංගීතය (Art Music) ලෙස හඳුනාගනු ලබන සංගීතයේ ද මේ කාරණය යම් ප්‍රමාණයකට අඩංගු වන බව කෙනෙකුට තර්ක කළ හැකිය. එය සාවද්‍ය නොවේ. ගායකයෙකුට තමන්ගේ හෝ හෝ අවසර ලත් පසු අනුන්ගේ ගීයක් වුව යම්යම් වෙනස් කිරීම් වලට ලක් කර නැවත ගැයීමේ හැකියාව ඇත. වාදකයෙකුට ද සංගීත නිර්මාණකරුවෙකුට ද එසේමය. 

එහෙත් මෙහිදී එක් ගැටළුවක් පැන නැගේ . කලා සංගීතයේ මූලාකෘතියක් (Original) ඇත. එනම් මේ ඒ ගීයේ පළමු මෙන් ම නියම නිර්මාණය ලෙස දැක්විය හැකි නිමැවුවක් ශේෂ වී පැවතීමයි. අනවසර නව නිෂ්පාදනයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි ඒ නිසාය. එහෙත් ගැමි සංගීතයට එවැනි මූලාකෘතියක් නැත. එය වෙනස් කළා ‍යැයි නීතිමය ප්‍රශ්න නගන්නට අය නැත.  කැමති ලෙස ගැයිය හැකිය ; වැයිය හැකිය. ඒ ඒ සම්ප්‍රදායයන්ගෙන් රැගෙන ආ හැඩතලයන් පිළිබඳ සදාචාරාත්මක කරුණක් පමණි එහි ඇත්තේ. 

එහෙත් ඇතැම් කලා සංගීත ප්‍රවර්ගයන්ගේ මේ අභිමත පරිදි යොදා ගැනීමේ හැකියාව මුඛ්‍ය ලක්ෂණයක් වෙයි. රාගධාරී මෙන් ම බටහිර සංගීත පද්ධතීන් වල ද මෙවැනි ප්‍රවර්ග ඇත. මේ අනුව Improvisation , හෙවත් ස්ව වර්ධනය කැරෙන සංගීත ප්‍රවර්ග ද නැතුවා ම නොවේ. එහෙත් ඒවා ක්‍රියාත්මක වන්නේ විවිධ නිර්ණායක මත පදනම් ව සීමා සහිතවය. එසේම සංගීතයේ භාවිත අරමුණු (Different perspectives) පදනම් කරගෙන ද නිදහස අහිමි වේ.

  එනයින් බැලූ කළ ගැමි සංගීතයට ඇති නිදහස කලා සංගීතයට නැති බව පෙනී යයි.  බොහෝ දෙනා තමන්ට ගයන්නට බැරි ය; වයන්නට බැරිය ; යනාදී වශයෙන් දුක් වෙති. එහෙත් මෙකී දෘෂ්ටි කෝණයෙන් බැලුවහොත් ශිල්පීය ගායකයෙකු , වාදකයෙකු වන්නට නොහැකි වූවත් කැමති අයෙකුට ගැමි ගායකයෙකු (Folk Singer) විය හැකිය. ගැමි වාදයෙකු (Folk Player) විය හැකිය.පාසලේ විවේක වේලාවේදී , සාදයකදී වැනි අවස්ථාවල දී මතු ව එන්නේ මේ හැකියාවයි.  තමාගේ ආරකට ගයා වයා සතුටු විය හැකිය. එයට විවේචන ඉදිරිපත් කිරීමට හෝ පහර ගැසීමට කිසිවෙකුට හැකියාවක් නැත. කලා සංගීතය , ශිල්පීය සංගීතය පොදු ජනතාවගේ සිත සංතර්පණය කිරීමට ඇති වූවක් වන අතර ගායකයන්ට වාදකයන්ට තම දස්කම් දැක්වීම ට තෝතැන්නකි. එහි පරම අයිතිය ඒ වෙනුවෙනුවෙන් ඇප කැප වන අසහාය සංගීත වේදීන්ටය. එසේම ගැමි සංගීතය වෘත්තීයමය , වෘත්තීමය නොවන හැමටම අයිතිවාසිකම් කිව හැකි සංගීතයකි. මේ දෙකොට්ඨාසය ම සංගීතයේ නියෝජිතයෝ ය. තම නිදහස සොයා ගැනීම ඒ ඒ අයට භාර කටයුත්තකි. 


ගැමි ගීයේ නිදහස

 ගැමි ගීයේ නිදහස   සංගීතය මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ  පරිණාමික සංවර්ධනය පිළිබිඹු කරන්නකි. සංගීතය රසවින්දනාත්මක නිෂ්පාදනයක් මෙන් ම එදිනෙදා ඇතිවන නා ...