Saturday, June 19, 2021

මානවසිංහ , ස්වාභාව සෞන්දර්යය හා ගුවන් විදුලි ගීත නාටක


 

        පරිසරය රැකීම , පරිසරය ආරක්ෂා කිරීම කාලීන අවශ්‍යතාවක් වී ඇති සමයක  , මිනිසා සහ ස්වාභාවික පරිසරය අතර පවතින සම්බන්ධතාව පිළිබඳ නැවත දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් පවතී. සංගීතය , සාහිත්‍යය  ආදී කලා ප්‍රභේද  එම කාර්යය සිදු කිරීමෙහි ලා යොදා ගත හැකි මාධ්‍ය වශයෙන් වැදගත්කමක් උසුලයි. බොහෝ නිර්මාණකරුවෝ සිය නිර්මාණයන් ට ස්වාභාවික පරිසරයේ සංසිද්ධි පාදක කරගනිති. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ එසේත් නැතිනම්  පොදු ජනයා විසින්  හඳුනාගනු ලබන මානවසිංහ කවියෙකි; ගේය පද රචකයෙකි; පුවත්පත් කලාවේදියෙකි; දාර්ශනිකයෙකි; ගුවන් විදුලි ගීත නාටක රචකයෙකි. ස්වාභාව සෞන්දර්යය කෙරෙහි මානවසිංහයන්  තුළ වූ ආශක්ත භාවය ඔහුගේ බොහෝ නිබන්ධ වලින් හඳුනාගත හැකිය.මේ අධ්‍යයනයෙන් අපේක්ෂා කරනුයේ මානවසිංහයන් විසින් රචනා කරන ලද ගුවන් විදුලි ගීත නාටකයන් ට පාදක වන ස්වාභාව සෞන්දර්ය වර්ණනා පිළිබඳ අධ්‍යයනයක් සිදු කිරීමයි.

ගුවන් විදුලි ගීත නාටක යුගය ලංකාවේ සංගීත පරිණාමීය අවධීන් අතර සුවිශේෂී කාල වකවානුවක් නියෝජනය වෙයි. ගීත නාටක යන්න හැඳින්වීම සඳහා යොදනු ලබන ඉංග්‍රීසි වදන නම් රේඩියෝ ඔපෙරා යන්නයි. ෆීල්ඩ් (Field,2017) සඳහන් කරන ආකාරයට ගීත නාටක පෙරදිග සහ අපරදිග සංගීත සම්ප්‍රදායයන් දෙක ම ආභාස කොටගෙන නිර්මාණය කරගන්නා ලද නවමු කලාංගයකි.  බටහිර සම්භාව්‍ය ඔපෙරා සංගීතාංගයේ ද , උත්තර භාරතීය රාගධාරී සංගීතයේ හා නූර්ති ගීත නාටකයන්ගේ ද ආභාසය ගුවන් විදුලි ගීත නාටකයන්ගේ දක්නට ලැබේ.(හඬ , 2013) පැයකට ආසන්න කාලයකට සීමා වූ ගුවන් විදුලි ගීත නාටකය මුළු මනින් ම හෝ වැඩි වශයෙන් ගීත හා කවි ගායනයන්ගෙන් සමන්විත වූවකි. ලාංකේය ගුවන් විදුලියේ ප්‍රාරම්භක කාල වකවානුවේ ආරම්භ වූ ගුවන් විදුලි ගීත නාටක සම්ප්‍රදායයෙහි නිර්මාතෘ ලෙස අවිවාදාත්මක ව සැලකිය හැකි වන්නේ මානවසිංහයන් ය. 

       මානවසිංහයන් විසින් පළමු වරට ගුවන් විදුලිය සඳහා ගීත නාටකයක් රචනා කරනු ලැබ විකාශය කරන කරන ලද්දේ 1955 දෙසැම්බර් මස අට වනදා ය. තේවිස් ගුරුගේ විසින් නිෂ්පාදනය කරන ලද 'මනෝහාරී 'නම් වූ එම ගීත නාටකයෙන් පසු පහළොවකට අධික ගුවන් විදුලි ගීත නාටක සංඛ්‍යාවක් ඔහු විසින් රචනා කරන ලද්දේය. සෝණ ගංතෙර , උල්පත , රණගුරු , සලීලා, ශ්‍රී වල්ලි , විශාඛා , අනංගායනය ආදී නිර්මාණ ඒ අතුරින් ප්‍රමුඛ වෙයි.

මානවසිංහගේ ගුවන් විදුලි ගීත නාටක සරල එහෙත් රසවත් තේමා රැගත් නිර්මාණයන් ය. එම බොහෝ නිර්මාණයන්ට පාදක වන්නේ ස්වාභාව ධර්මය සහ මනුෂ්‍යයා අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාවයි. මනෝහාරී නම් ඔහුගේ ප්‍රථම ගීත නාටක රචනයට ද පාදක වන්නේ මෙම කාරණයයි. ස්වාභාවධර්මය පිළිබඳ අපූර්ව වර්ණනාත්මක කෘතියක් වූ මෙහි කල්පිත චරිත නිර්මාණය කර ඇත්තේ පහත පරිදි ය.

සෝම කුමරු - චන්ද්‍රයා

සළු නැටුම - මීදුම ගැලීම 

ජගත් පති - ලෝකය

දිවාපති - සූර්යයා

වසන්ත පුරය - වසන්ත සෘතුව

කිරණ භට හමුදාව - හිරු රැස්

කාල මේඝ - වැහි වළාව

හේමන්ත - හේමන්ත සෘතුව

සරද පුරය - සරත් සෘතුව 

සමීරණ - පවන

ගිම්හාන කුමර - ග්‍රීෂ්ම සෘතුව (විජේසේකර , 2013) එහෙත් field (2017) සඳහන් කරන ආකාරයට මනෝහාරිගේ චරිතයෙන් විශ්වීය සුන්දරත්වය ද , ජගත්පතිගෙන් විශ්වය ද , බිඟු සේනාවෙන් හිරුගේ රැස් ද හේමන්තගෙන් මීදුම ද අර්ථවත් කෙරේ. 

මනුෂ්‍යත්වාරෝපිතය (Anthropomorphism) මෙම නිර්මාණයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. ජෛවීය පැවැත්මේ ප්‍රධාන සංඝටක වන සූර්යයා , චන්ද්‍රයා , ජීවී වාසස්ථානය වන පෘථිවි ගෝලය , විශ්වය , සෘතු භේදය මෙන් ම මනුෂ්‍යයාට සමීප ජීවීන් කෙරෙහි මනුෂ්‍යත්වාරෝපණය කිරීමෙන් මානවසිංහ උත්සාහ ගෙන ඇත්තේ මිනිසාට මෙන් ම ඒ ඒ  චරිතයන් ට ද සමාන වැදගත්කමක් හිමිවන බව පෙන්වා දීමයි.  field සඳහන් කරන ආකාරයට මානවසිංහ මේ නිරූපණය කර ඇත්තේ ස්වාභාවික ලෝකයේ විභවයන් ය.(2017) ජගත්පතී නම් මනෝහාරිගේ පියා ය. මනෝහාරී සෝම කුමරු හෙවත් චන්ද්‍රයා ට ප්‍රේම කරයි. එහෙත් ජගත්පති විසින් මනෝහාරී දිවාපති හා ආවාහ කර දීමට යෝජනා කර තිබේ. දෙදෙනා නික්ම යන්නට පෙර ගයන මෙම ගීය උත්ප්‍රේක්ෂාලංකාරයෙන් යුතු ය. 


'සෝම කුමරුන් සඳේ වේශෙන් 

රැයෙ හි සුවයට ඉඩතියා

නිහඬ වී සිටි කුරුල්ලෝ දැන්

අවදි වෙති ගී ගය ගයා


සියලු මල් කැන් පුබුදුවන මුදු

සිනා රැළි ඔබෙ මුව බලා

අමා විල් මල් පාරුවෙන් බැස

කෝම යන්න ද පා නගා........


දිවාපති ගේ කිරණ හෙබවූ

රුදුරු හිරු කැන් මුලු දෙසේ

ඔහුගෙ සක් හඬ ඇසෙයි ලං වී

යන්න නම් අද ඉඩ නැතේ


රැගෙන වේගෙන් සළු පෙළින් අපි

මුවා වී යමු සොඳුරියේ

ගලා එන කිරි මුහුද වාගේ

එන්න මගෙ පෙම් මිහිරියේ '

 මෙතැන ඇත්තේ වඩා සුන්දර දහවල ද රාත්‍රිය ද යන්න පිළිබඳ ගැටළුවකි. රචකයාගේ දෘෂ්ටි කෝණයට අනුව දහවල ට වඩා රාත්‍රිය සුන්දර ය. එම අදහස ඉදිරිපත් කර ඇති ආකාරය නිර්මාණාත්මක ය. ෆීල්ඩ් (2017) ට අනුව එය චන්ද්‍රයා බැස ගොස් සූර්යයා උදා වීම සංකේතාත්මක ව ඉදිරිපත් කිරීමක් ලෙස ට ද අර්ථකථනය කළ හැකිය. 

මානවසිංහ විසින් රචනා කරන ලද උල්පත ගීත නාටකයේ එන 'ප්‍රේම  තටාකේ මේකයි මැණිකේ 'ගීතය ද ස්වාභාවික ලෝකය හා මිනිසා අතර ඇති අන්තර් සබඳතාව ප්‍රකට කරයි.  වජිරා බාලසූරිය හා ඩබ්.ඩී.අමරදේව මෙම ගීතය ගායනා කරන අතර කථාව සඳහා පාදක වන්නේ ඓතිහාසික ප්‍රවෘත්තියකි. රජරට ආක්‍රමණය කරන මාඝ රජු සමඟ පැමිණෙන කේරළ භට පිරිස සතර අත සිය බලය පතුරුවති. මේ අතර විජයබා කුමරු සතුරන්ගෙන් මිදී වන්නියට පළා ගොස් එහි ගම්වැසියන් හා එක් ව මහා වැවක් නිර්මාණය කරයි .එයින් ගම සශ්‍රීක වෙයි.මෙයින් උදම් වන චම්පා සහ මලයවීර වැව් ඉවුරේ හිඳ මිහිරි ආස්වාද විඳිමින් ප්‍රීති වෙති. මේ ගීය ගැයෙන්නේ එම අවස්ථාවේ දී ය.

ප්‍රේම තටාකේ මේකයි මැණිකේ 

ආදර රැල්ලයි අර දිව යන්නේ

අභිමන් අභිමන් කියලයි මැණිකේ

ඒ රැළි මේ වැව් ඉවුරෙ හැපෙන්නේ


මගෙ පෙම් කෝකිලයෝ නුඹෙ ගීතේ 

තාලෙට නොවැ දිය සුළි කැරකෙන්නේ 

පියුමට පියුමක් හැපෙනව දැකලයි 

හංස පැටව් මේ හැටි දඟලන්නේ


මේ පද මාලා උත්ප්‍රේක්ෂාලංකාරයෙන් යුතු ය. එසේ ම සරල බස් වහරකි ඇත්තේ. පෙම්වතාගේ හඬෙහි සුන්දරත් වය මානවසිංහයන් දකින්නේ කෝකිල කූජනයක් ලෙසිනි. මගෙ පෙම් කෝකිලයෝ යනුවෙන් ඔහු යෙදුවේ එහෙයිනි. වැව් දිය රළ හැපීම , නෙළුම් ආදී මල් සුළඟට වැනීම , හංසයන්ගේ චර්යා මේ පණැති , පණ නොමැති හැම දෙයක ම කිසියම් සජීවී භාවයක් තිබෙන බව ඒත්තු ගැන්වීමට මානවසිංහයන්ට අවශ්‍ය ව ඇත්තා සේ ය.


මානවසිංහ 'සෝණ ගංතෙර 'නැමැති නාටකයට (ඇතැම් මූලාශ්‍රයක මේ ගීය විශාඛා නාටකයට ලියූ බව ද සඳහන් ය.) ලියූ සුළඟ හමයි ගීය ද  ස්වාභාවික ලෝකය පිළිබඳ ලියූ වර්ණනාත්මක ප්‍රකාශනයකි.


'සුළඟ හමා ළපලු නටයි

රහස් කියා ආදරේ

ලලිත ලතා මඬුලු පිපී

සෝණ නදී ගංතෙරේ


තඹර වැවේ ගුමුගුමුවේ

රැව් පැතිරෙයි දස අතේ

ඔබේ මිහිරි කොවුල් හඬින් 

නාද ඇසෙයි වන පෙතේ'


සුළඟ ට ළා දළු පත් සෙලවෙන්නේ ප්‍රේමයේ රහස් කියන්නා සේ ය.තඹර වැවේ ගුමුගුමු වේ ... යන ප්‍රකාශය අතිශයෝක්ති වර්ණනයකි.කෙසේ  නමුත්මෙම ගීයෙන් ද ස්වාභාවික සෞන්දර්ය වර්ණනා කැරෙන අතර ම එහි සජීවීභාවය ද ප්‍රකට කෙරේ. 


1958 වෙසක් උත්සවය වෙනුවෙන් මානවසිංහ ලියූ උල්පත නාටකයේ ම එන මේ කවිය විශේෂ ය.


'වනය මැද ගමකි දැන් සව් මිතුරු බර 

සැලෙයි අවට කෙත්වත් සුළඟින් නිතර

මලයවීර චම්පා දෙදෙනා අතර

නැගෙයි මිහිරි ගී රැව් මත වැව් ඉවුර'


මෙහි ද අැත්තේ පරිසර වර්ණනයකි. හංස සන්දේශයේ  157 වන කවිය මෙසේ ය.


'පැසෙයි නිබඳ සුවඳැල් කෙත්වත් අවට

ඇසෙයි ළමා වහු පැටියන් හඬ දුරට

දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට

  රසෙයි අමා රසයම ඒ පියස දුට '

(හංස සංදේශය (සංස්.) ,1954 ) පාරිසරික වර්ණනා ඉදිපත් වන මේ කවි දෙකෙහි අාකෘතියෙහි කිසියම් සමානතාවක් ද පෙන්නුම් කරයි.  ප්‍රේමය වැනි සංකල්පයක් ප්‍රකාශ කිරීමට මානවසිංහ ගොඩ නගන  සංදර්භය ද පාරිසරික සෞන්දර්යය කුළුගැන්වෙන සුළු වූවකි.


මානව හිතවාදී , පරිසරකාමී නිර්මාණකරුවෙක් වන මානවසිංහයන්ගේ නිර්මාණ බොහොමයකට පාදක වී ඇත්තේ සොබාදහම සහ මනුෂ්‍යයා අතර ඇති අන්තර් සම්බන්ධතාව වන අතර යට කී ගුවන් විදුලි ගීත නාටක ගීත වලින් ද එම කාරණය වඩාත් තහවුරු වෙයි. මනුෂ්‍යයා හට ඔහු අයත් ජීවී පරිසරයෙන් වියුක්ත වීමට නොහැකි වන්නා සේම එයට එරෙහි ව නැගී සිටීමට ද හැකියාවක් නොමැත්තේය. සිදු කළ යුතු වන්නේ පරිසරයට ආදරය මුදා හැරීමයි. දයාව මුදා හැරීමයි. පරිසරයේ විපුල ඵල භුක්ති විදින අතර ම ජීවී අජීවී ලෝකයේ පැවැත්ම තහවුරු කිරීමට හැකි අයුරින් දායක වීමයි. එසේ නොකළ කල්හි මිනිසාට ද පැවැත්මක් නොමැති බව දැන් දැන්  පරිසරය  කියා දෙමින් සිටියි. රැකිය යුත්තේ අප පමණක් නොවේ. රැකීමට (To survive) සෑම ජීවිතයක ට ම අයිතියක් අැත. මනුෂ්‍යා මේ භූමියේයේව සාමාජිකයෙකු පමණක් මිස උරුමකරුවා හෝ හිමිකරුවා නොවන බව අප අවබෝධ කරගත යුතු ය. මානවසිංහයන්ගේ නිර්මාණයන්ගෙන් ප්‍රකටකරන්නට උත්සාහ කැරුණු  පරම සත්‍යය  වන්නේ ද එයයි.


මූලාශ්‍රය


ආරියරත්න සුනිල් , 2008, මානවසිංහ ගීත නිබන්ධ , නව මුද්‍රණය , ගොඩගේ ප්‍රකාශන , කොළඹ 

ඇහැළියගොඩ බණ්ඩාර , 2016.07.31, සත්මඬල - සිළුමිණ , ලේක් හවුස් ප්‍රකාශන , කොළඹ

බණ්ඩාර තිලකරත්න  , 2013 , හඬ , පළමු මුද්‍රණය , ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා ප්‍රකාශන , කොළඹ

රාජපක්ෂ සමීර , 2008, හෙළ ගී විසිතුර , පළමු මුද්‍රණය, කර්තෘ ප්‍රකාශන , කොළඹ 10

හංස සංදේශය ,ගම්මන්පිල ඩී.සී.(සංස්.),1954 ,සමයවර්ධන ප්‍රකාශන , කොළඹ

Field Garrett , 2017, Modernizing Composition : Sinhala Song , Poetry , and politics in Twentieth Century Sri Lanka , 1 st pub., University of California press , USA

Field Garret , 2012, The Sinhala Radio Opera and the Indian Cultural Imagination (Lecture Paper),university of colombo , 

https://www.academia.edu/3888576/The_Sinhala_Radio_Opera_and_the_Indian_Cultural_Imagination

ගැමි ගීයේ නිදහස

 ගැමි ගීයේ නිදහස   සංගීතය මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ  පරිණාමික සංවර්ධනය පිළිබිඹු කරන්නකි. සංගීතය රසවින්දනාත්මක නිෂ්පාදනයක් මෙන් ම එදිනෙදා ඇතිවන නා ...