Sunday, January 10, 2021

ඩේවි දුටු ලංකාවේ සංගීතය

 ඩේවි දුටු ලංකාවේ සංගීතය 

 

මෙම අඩවියේ පරමාර්ථය වනුයේ ලාංකේය සංගීතයේ හා සංස්කෘතියේ අනන්‍යතාව මතු කරලීම බව නැවතත් සිහි කරමින් අද ලිපියට මෙසේ මුල පුරනු ලැබේ.

අපි පෞරාණික ඉතිහාසයකට උරුමකම් කියන්නෝ වෙමු. ඒ පිළිබඳ සැකයකුදු තබා ගත යුතු නැත.එහෙත් අතීතය වර්ණනා කිරීමෙන් පමණක් රටකට ස්වාධීන අනන්‍යතාවක් ගොඩ නඟා ගත හැකිද යන්න ප්‍රශ්නයකි.සිදු කළ යුතු වන්නේ අතීතයෙන් ලද දායාද රැකගැනීමත් , එම අතීතයෙන් උගත් දැයින් වඩා උසස් අනාගතයක් ගොඩ නැඟීමටත් උත්සාහ ගැනීමයි. මේ ලිපිය එවැනි දෑ කරන්නවුන් ට උපහාර වේවා.

ක්‍රි.ව.1815 දී ලංකාව සුදු අධිරාජ්‍යයේ පූර්ණ යටත් විජිතයක් බවට නිල වශයෙන් අපගේ ම මුතුන් මිත්තන්විසින් පවරා දෙන ලදි.ඔවුන් අපට බොහෝ දෑ ලබා දුන් බව අසත්‍යයක් නොවූවත් අපෙන් උදුරා ගත් දෑ ද සුළුපටු නොවේ. ලංකාවේ  සැබෑ සංගීතය කුමක්දැයි , සොයා යන මේ ගමන පතුලක් තවම හරියට නොපෑදුණු බොර දිය පහරක තිත්තයන් , නළ හඳයන් දකින්නට උත්සාහ කරන්නාක් මෙන් අසීරු ව්‍යායාමයකි. එය එසේ වූවත් නිකම් සිටිනවාට වඩා කුමක් හෝ වැඩක නියැලීම ඵලදායක වේ යැයි සිතා ලංකාවේ සංගීතය ගැන සුදු ජාතික මහත්මයෙකුගේ ම අතින් ලියැවුනු ලිපියක් ඇසුරෙන් අපේ සංගීතය පිළිබඳ සැඟවුණු තොරතුරු කීපයක් මෙසේ සාකච්ඡාවට භාජනය කරමු.

 

මෙම ලිපිය ඇතුළත් වන්නේ රාජා එස් එම් තාගෝර් Raja S. M. Tagor යන භාරතීය විද්වතා විසින් සංස්කරණය කරන ලද Hindu Music From Varies Authers කෘතියේ ය. (අන්තර්ජාලයේ මෙම නම ටයිප් කිරීමෙන් PDF පිටපතක් බාගත කිරීමේ හැකියාව ඇත.)




Raja S.M.Tagor


ක්‍රි.ව. 1882 I.C.Bose සහ සමාගම විසින් මුද්‍රණය කර Stanhope Press ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම කෘතිය භාරතීය සංගීතය බටහිර ලෝකය වෙත ගෙන හැර දැක්වීම විශේෂයෙන් අරමුණු කර ගන්නා ලද්දක් බව ආරම්භයේදී ම ප්‍රකාශ කර ඇත. (පූර්විකාව , 1882) ඒ අනුව අපගේ සාකච්ඡාවට බඳුන් වන්නේ මෙම කෘතියේ 293-294පිටු අංක වලින් දක්වා ඇති Music of ceylon නම් ශීර්ෂයෙන් යුතු ලිපියයි. මෙහි කර්තෘ වරයා වන්නේ එංගලන්තයේ එවකට කීර්තිමත් රසායනඥයෙකු වූ ජෝන් ඩේවි (John Devy) නම් නිළධාරියායි. (ක්‍රි.ව. 1790- 1868) 


John Davy 

ඔහු විසින් ලංකාවට පැමිණ තමා ලද අත්දැකීම් ඇසුරෙන් ලියා පළ කළ An Account of the Interior of Ceylon , and of its Inhabitants : with Travels in that Island (1821) කෘතියේ එන ලිපියක් ය තාගෝර් සිය කෘතියට ඇතුළත් කර ඇත්තේ.




ආරම්භයේදීම ඩේවි ශ්‍රී ලාංකිකයන් හැම දෙනෙක් ම පාහේ කවියන් වන බව ප්‍රකාශ කර සිටියි. එහෙත් ඔවුන් ආදරය වැනි කාව්‍යමය සංකල්පනයනට වඩා සිය නායකයන්ගේ ගුණ කවියෙන් කියන්නට යුහුසුළු වූ බව ඩේවි පවසයි. ඔහු හඳුනාගන්නා ආකාරයට ලංකාවේ නාද මාලා මූලිකව ස්වර සතක පමණ පරාසයකට අයත් වන බව පෙන්වා දෙයි.ලිපියේ මීලඟ කොටස ඩේවි විසින් හඳුනාගත් දේශීය වාද්‍ය භාණ්ඩ කීපයක් පිළිබඳ තොරතුරු සපයා දෙයි. එහි ගැටබෙරය , දවුල ,තම්මැට්ටම , තාලම්පොට යන භාණ්ඩයන්හි විස්තර අන්තර්ගත වේ. මේ සියල්ලටමත් වඩා වටිනාකමින් වැඩි තොරතුර නම් වෙනබ් (venab) , වීණා (veena) , යන නම් වලින් හඳුන්වන ද්වී තන්ත්‍රී වාද්‍ය භාණ්ඩයක් පිළිබඳ කරනු ලබන විග්‍රහයයි. අලුවකින් වයනු ලබන එම භාණ්ඩයේ රූපසටහන් දෙස බලන විට රාවණාස්ත (Ravanasta or Ravan hatta)නමින් හැඳින්වෙන භාණ්ඩයේ ස්වාභාවය මෙම භාණ්ඩය කෙරෙහි හෝ මෙම භාණ්ඩය උක්ත වාද්‍ය භාණ්ඩයට  හෝ බලපා ඇති බවට සාධාරණ සැකයක් ඇති වේ. 



එසේම භේරී වාදනය මුල් කරගත් දේශීය සංගීතය අතීතයේදී තත් වාද්‍ය භාණ්ඩ භාණ්ඩ ද භාවිත කර ඇති බවට සාක්ෂ්‍ය හමු වේ. වෙණ හා උඩැක්කි හැරුණු විට අනෙක්වා ආගමික ස්ථාන ද විවිධ උත්සව සඳහා ද බහුල ව භාවිත කර ඇති බව මේ ලේඛනයෙන් හඳුනාගත හැකිය.පෙර සඳහන් කර ඇති හෙළ වීණාව පොල් කටුවකින් සාදන ලද ධ්වනි පේටිකාවකින් යුතු ද්වී තන්ත්‍රීමය උපකරණයක් වන අතර අලුවෙන් වයා තිබේ. එය සාමාන්‍ය සමාජයට වඩා යාචක සමාජය අතර ජනප්‍රිය වූ භාණ්ඩයක් වූ බව ඔහු වැඩිදුරටත්  ප්‍රකාශ කරයි.ඩේවි ට අනුව සාමාන්‍ය ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය භාණ්ඩයක් ලෙස එකල උඩැක්කිය භාවිත කර ඇත. බොහෝ විට සන්ධ්‍යා සමයේ ගයනු ලබන කවි වලට මෙය ආධාරක භාන්ඩයක් වී ඇත. එසේම කවි අසනු රිසියෙන් ඔහු හෝ ඇය වටා වාඩි වී ගී ඇසීමේ අත්දැකීමක් ද ඔහු විස්තර කර ඇත.

මේ ලිපිය එකල පැවති සංගීතමය පසුබිම පිළිබඳ මනා ව පිළිබිඹු කරන්නකි. සරල ජීවිත රටාවකට හුරු වූ ඔවුන්  සංගීතයෙන් අපේක්ෂා කර ඇත්තේ  හුදෙක් සරල ආස්වාදයක්  ලැබීම බව ප්‍රකාශ කිරීමට කරුණු මේ අනුව අපට සොයා ගැනීමට හැකි අතර තත් වාද්‍ය පිළිබඳ  තොරතුරු අනාවරණයෙන්  සිංහල සංගීතයේ  තවමත් සෙවිය යුතු බොහෝ දෑ සැඟව පවතින බව අපට පසක් කර දෙයි.

ඇමුණුම්





Monday, January 4, 2021

තනිවුණු කවි

තනිවුණු කවි






දයාබර අරලියා පෙත්ත..

තුති නුඹට

තනිකමක් දැනෙන්නට නුදුන්නාට 

ඇයට..

තනිකම පමණක් තනියට හිටිය 

හුදකලා භූමියේ..

මට නොකල හැකි මුත් ,

නුඹට හැකි වෙයි වැළද ගන්නට ,

ඇගේ වත

සුවද රොන් ඉසිමින්,

පිනි පිපෙන උදයේ

අදුරින් වැසුණු හැන්දෑවේ

ඉඩ නොදෙන්න 

ඇයට තනිකමක් දැනෙන්නට

මගේ මිතුර,

ඒ පාළු භූමියේ 

නිසල පස් ගොඩැල්ලේ..

මගෙ හිතට දුන් සෙනෙහෙ

ම හට දුන් මුදු වදන්..

මා වෙනුවෙන් ඇයට දෙන්න.

 නුඹට දුක හිතේවි

වෙන්වන්නට 

නුඹගේ උන් සිටින 

අරලියා විමානෙන්

දුක් නොවන්න ..

එයයි ලෝ දහම.

නුඹට ද මට ද උරුම වූ..


නොදොඩා,

මන්දස්මිතයක්වත් 

නොසලා වුවත් 

ඇයවත් හිදීවි 

නුඹ ලගින්,


සබද.

පින් නුඹට,

මා වෙනුවෙන් 

ඇය වැළද ගන්න..

පින් නුඹට ,පින්  නුඹට ,පින් නුඹට....


-අතුරුගිරිය නිස්සරණ සිත් බිමේදි-

දේශීය සංගීතයක් ගොඩ නැඟීමෙහිලා විද්වතුන් පළ කළ අදහස් 2

 හෙළ සංගීතයක් ගැන කියන කුමරතුඟුවන්ගේ හෙළ මීයැසිය








මුනිදාස කුමාරතුංග යන නාමය නෑසූ ලාංකිකයෙක් සිටීනම් එය මහත් පුදුමයක් වේ. එපමණටම කුමාරතුංග නාමය සිංහල සාහිත්‍යයේ අග්‍රගණ්‍ය සලකුණක් වෙයි. ග්‍රන්ථකරණයේ හා කාව්‍යකරණයේ සූරයෙකු වූ මෙතුමා ජාතික නිදහස් අරගලය වෙනුවෙන් සිය පෑන මෙහෙයූ ආකාරයත් , එකල ජාතික අනන්යතාවය නොසලකා විජාතික මිරිවැඩි සිඹි කලු සුද්දන් නිර්දය ලෙස විවේචනය කළ අන්දමත් , පිරිසිඳු හෙළ බස රකින්නට පිහිටුවා ගත් හෙළ හවුලත් යන කාරණා නිසා  සුවිශේෂ  පුද්ගල චරිතයක් ලෙස හඳුනාගැනේ.  මෙතුමා ස්ව ග්රන්ථ ,  සංස්කරණ, ව්යාකරණ , ළමා කථා ,  සඟරා ලිපි ආදියේ සූර ලේඛකයෙකු වූ අතර ම පද්යයේ හරඹ පෑ කවියෙක්ද වෙයි. . මේ ලිපිය එතුමාගේ එම කාර්යයභාරය පිළිබඳ ඇගයීමක් කරන්නට ලියන්නක් නොවුණත් මෙය ද ඔහුගේ ම  එක් විශේෂ ග්රන්ථයක් පිළිබඳ  ව විශේෂයෙන් සාකච්චා කරන්නකි.  කුමරතුඟුවන් විසින් ලියන ලද කාණ්ඩ 4 කින් යුතු (දැන් සොයාගැනීමට ඇත්තේ 1 කාණ්ඩය පමණි.) කොළඹ 10 මරදාන පාරේ ඇස් ගොඩගේ සහ සහෝදරයෝ සමාගම විසින් ප්රකාශයට පත් කෙරුණු , හෙළ ගී මීයැසිය කෘතියේ 1999 නව සංස්කරණය ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.

         පෙර කියූ අන්දමටම කුමාරතුංග සිය පෑන මෙහෙවූයේ දේශ ප්රේමය පෙරටු කොටගෙනය. ඔහුගේ සෑම කෘතියකින් ම තහවුරු කරන්නට උත්සාහ ගත්තේ හෙළ ජාතිකත්වයේ අභිමානයයි. අධිරාජ්ය සමයේ විදේශිකයන්ට නතු වූ දේශීයත්වය නඟා සිටුවීමෙහිලා කුමාරතුංග කළ ප්රයත්නය සිකිම් මහින්ද හිමි, අනගාරික ධර්මපාල වැන්නවුන්ගේ මෙහෙයට දෙවෙනි නොවේ.ඒ අනුව යථෝක්ත කෘතියෙන් ද ප්රකට වන ප්රධානත ම කාරණය නම් ජාතිකත්වයයි.ඔහු සංගීතඥයෙකු නොවූවද වින්සන්ට් සෝමපාල නම් භාරතීය සම්ප්‍රදායේ ප්‍රාමාණික සංගීතඥයා ගේ ද සහාය අැතිව මේ උත්සාහ කර අැත්තේ දේශීය අනන්‍යතාවකින් යුතු සිද්ධාන්තමය සංගීතයක් ගොඩනැගීමටය.


' පෙර හෙළයාට මීයැසියක් නොවී ද? හෙළයාගෙන්  බැහැරියෝද මීයැසිය උගත් හ යනු අපගේ හැඟීම.තරු නම් , රවුළු නම්, හෙළ නර විරුවෝ ගැයුම් වැයුම් රැඟුම් මොළවා, ලළවා , බබළවා හෙළ දිව දෙව් ලොව කළ හ . ......... කෙසේ වුවද හෙළයෝ මෙයට හවුරුදු  දහසු කීයකට පෙර මීයැසිය පුරුදු කළෝද , වැවුවෝද , හිවුවෝද යනු පරයින්ගේ පතින් පොතින්ම දැනැ ගන්නට ලැබීම හෙළයන්ගේ කෙබඳු පිනෙක්ද? '( පිවිසිය ,6 පිට)


කුමාරතුංගගේ වදන් අතරින් පෙනෙන දෙය නම් ඔහු කෙතරම්  සිය ජාතිය කෙරෙහි අභිමානයකින් සිටියෙක් ද යන්නයි.  කුමාරතුංගට අනුව නම් අපි පෙර බැහැරියන්ට ද සංගීතය ඉගැන්වූ අය වෙමු.  අදටත් වඩා එදා අන් ජාතිකයන් සිය ඇසින් ලංකාව ගැන ලියූ කෘතීන් හා ඒවා ඇසුරෙන්ම දේශීය සංගීතය පිළිබඳ මත පළ කරන්නට සිදු වීම ගැන කුමාරතුංග සෝපහාසීව දක්වයි.

 ලංකාවේ සංගීතය ගැන මුල් ම සාක්ෂ්යය  ලෙස ඔහු  විජය කුවණ්ණා කථා ප්රවෘත්තිය දක්වයි.


'හෙළ නයුවන් නසන්නට විජය නම් සොර දෙටුවා එද සොරෙන් ළං වද්දි , හෙළයෝ කුමක් කෙරෙමින් උන්නෝද? ගැයුමෙන් වැයුමෙන් නැටුමෙන් මන පිනවමින් උන්නාහුය.සොර දෙටුවෙකුගේ ළය මොළොක් වේද මිහිරෙකින්? එහෙත් අවියක් නොදැකැ, මුවින් ගී ගෙනැ, අතින් වැයි ගෙනැ ,පයින් රැඟුම් ගෙනැ සිටි හෙළයෝ මිහිරියෙන්ම මරු මුවට වන්නෝයැ'


මීළඟ සාක්ෂ්ය කුමාරතුංග දක්වන්නේ පඬු අබා කථාවෙනි. ලබුගම දී සිය මාමා වරුන් මරා උත්සව කළ පඬු අබා 

ලක්දිව පළමු අග නගරය වූ අනුරාධපුරය ගොඩ නැගූ බව පෙන්වා දෙන ඔහු එකල  සංගීතය නොපැවතීමට හේතුවක් ඇති ද යන්න ප්රශ්න කරයි. පසු කළෙකදී ලක්දිව බුදු සමය  ව්යාප්ත වූවද සංගීතය පැවතීමට එය බාධාවක් නොවූ බවද කුමාරතුංග පවසන අදහසකි. ඔහුට අනුව ලංකාවේ සංගීතයේ සැබෑ පසුබෑම සිදුවී ඇත්තේ මෑත කාලයේය. ආගමික නීති රීති ඔස්සේ ලංකාවේ සංගීතය  අවනතිය කරා ගෙන යාමට වර්තමාන ආගමික ප්රජාව උත්සාහ ගන්නා බව පෙන්වා සිටින කුමාරතුංග දේශීය සංගීතයක් ඇති නොවීමට මෙය බාධාවක් වන බවද පවසයි.

පිවිසියේ නොහොත් ප්රස්තාවනාවේ  අවසාන භාගය කුමාරතුංගයන් යොදා ගන්නේ හින්දුස්ථානී සංගීතයට දොස් පැවරීමටය.


" හින්දුස්ථානී ! එසේයැ , සියල්ල "හින්දුස්ථානි " මේ විහිළුව ඇති වන්නට බොහෝ පෙර මීයැසිය මැනවින් උගන්වන සකූ පොත් වීයැ.ඒ පොත් කියවා අරුත් වටහා - ගන්නට තරම් හැකියාවක් නැති පර ගැත්තෝ , ඒ සකු නම් මැ වියුරු කොටැ, පෙරැළුෑ "හින්දුස්ථානී" නම් හෙළයන් පිට ද පටවති. 'රි' සරුව 'රෙ' යැයි ගන්නට කියති ඇතැමෙක් .ඇයි ? අර "හින්දුස්ථානියාට" එය එලෙස කියැවෙන නිසා! කොතරම් විහිළුවෙක්ද? " (පිවිසිය 8)

 සත්ය වශයෙන් ම  කුමාරතුංග මේ දක්වන්නේ හින්දුස්ථානී සංගීතය භාවිත නොකළ යුතු බවක්  නොවේ. එකළ එයැම පමණක් සංගීතය වේ යන්න ප්රකට කළ ඇතැම් සංගීත කරුවන්ට මරු පහරකි ඔහු ගැසුයේ. 


ගීතය සංගීතයේ එක් ශාඛාවකි. වර්තමානයේ මෙන් ම එදා ද ගීතය ජනප්රිය මාධ්යයක් විය. වරින් වර ලංකාවේ ගීතයට බලපෑම් ඇති කළ නූර්ති , නාඩගම් ඔස්සේ ගීතයට තනුව දැමීමේ සම්ප්රදායය වෙනුවට තනුවට ගැළපෙන පද යෙදීමේ සම්ප්රදායය ව්යාප්ත විය. මේ නිසා අර්ථ ශුන්ය , විරිත් බිඳුණු ගී සම්ප්රදායයක් ඇති වූ බවට කුමාරතුංග චෝදනා කරයි.

"තව ද මහ නොවිළි කමෙකි. රිවිඳුරු නා ටහකුරුවන්  වැන්නෝ උන් ගේ බස් නියරට හුරු කොට ගී බඳිත් . මෙ රටැ ගැත්තෝ කුමක් කෙරෙත් දැ? එ ගී බලා විරිත හිඟති , අරුත හිඟති, පද හිඟති , ගී යැයි මහ විහිළු අටවා දී අමනයන් මත් කරවත්."


මේ චෝදනාව තුළින් තනු අනුකාරක ගී විෂයෙහි ඔහු තුළ පැවති අප්රසාදය පළ වෙයි.

හින්දුස්ථානි ස්වර සප්තකය නම් ස රි ග ම ප ධ නි  වේ. එහෙත් කුමාරතුංග හෙළයට ගැළපෙන ලෙස එය සංස්කරණය කර හෙළ සවර සප්තකයක් දක්වයි.එසේම හින්දුස්ථානී වර්ගීකරණය වූ කෝමල , තීව්ර, ශුද්ධ සවර ලෙස එකම ස්වරයේ ප්රභේද දැක්වීමේ ක්රමය වෙනුවට ඒ එක් එක් සවරය සඳහා වෙනම සංකේත යෙදිය යුතු යැයි කුමාරතුංග යෝජනා කරයි. 

 1. ස  කෝමල රි  රි කෝමල ග ග ම තීව්ර ම ප කෝමල ධ ධ කෝමල නි නි  ..........................  හින්දුස්ථානී ස්වර

2.  සි  රැ  රි ගැ ගි මි මු පි දැ දි නැ නි     ..................................... හෙළ ස්වර

 මේවා වල ප්රායෝගික භාවිතය කෙසේ වුවත් හෙළ සංගීතයක් නිර්මාණය කිරීමෙහිලා කුමාරතුංග ගත් උත්සාහය ප්රකට කරන කරුණක් ලෙස මෙහි විශාල වැදගත්කමක් පවතී.එසේම නාද , ස්වර , කාව්‍යකරණය , තනු සැපයීම , ගී ආදී සාම්ප්‍රදායික සංගීත තොරතුරු මෙන්ම නව ස්වර නාම පද්ධතියක්  හඳුන්වාදීම , දේශානුරාගය වඩවන සුලු නව සංගීත ප්‍රවාද සැකසීම ආදී කාරණා පිළිබඳ  පිළිබඳ විවේචනාත්මක මෙන් ම ප්‍රතිගාමී අදහස් පළකර තිබීම මේ කෘතියේ විශේෂත්වය වෙයි. ඒ අනුව හෙළ මීයැසියක් ගොඩ නඟන්නට මේ කෘතිය හේතු නොවේ යැයි කාට නම් කිව හැකි ද ?





ගැමි ගීයේ නිදහස

 ගැමි ගීයේ නිදහස   සංගීතය මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ  පරිණාමික සංවර්ධනය පිළිබිඹු කරන්නකි. සංගීතය රසවින්දනාත්මක නිෂ්පාදනයක් මෙන් ම එදිනෙදා ඇතිවන නා ...